කෝලි-ඩු ප්ලෙසිස් ප්‍රහාරය හමුවේ RCB පිලට සුපිරි ජයක්
Match Report
විරාට් කෝලි පන්දු 49 කින් නොදැවී වාර්තා කළ ලකුණු 82 හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 43 කින් වාර්තා කළ ලකුණු 73 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(2) සමත් වුණා.
බැගලෝර් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
කෝලිගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 6 කින් වර්ණවත් වුණා. ඩු ප්ලෙසිස්ගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.
බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම මෙම තරගයේ දී නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171 ක්.
හුදෙකලා සටනක නිරත වෙමින් තිලක් වර්මා පන්දු 46 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.