කෝලිගේ, අයියර්ගේ ශතක හා ෂාමිගේ කඩුලු 7 ඉන්දියාව අවසන් මහා තරගයට රැගෙන යයි
Match Report

විරාත් කෝලි රැස් කළ වාර්තාගත 50 වැනි එක්දින ශතකය හා ෂ්රෙයස් අයියර් ලබා ගත් වේගවත් ශතකය මෙන්ම මොහමඩ් ෂාමිගේ කඩුලු 7 හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(15) සමත් වුණා.
තරගය ජය ගැනීමට ලකුණු 398 ක දැවැන්ත ඉලක්කයක් ඉන්දියාවෙන් නවසීලන්තයට හිමි වූ අතර, ඔවුන්ට පන්දුවාර 48.5 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327 ක් පමණයි.
සටන්කාමී ශතකයක් වාර්තා කළ ඩැරල් මිචෙල් පන්දු 119 කින් ලකුණු 134 ක් ලබා ගත් නමුත් සිය කණ්ඩායම පිට පිට තෙවැනි වරටත් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයක් කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.
නායක කේන් විලියම්සන් ලකුණු 69 කට දැවී ගියා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 181 (149) ක අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ග්ලේන් පිලිප්ස් ලකුණු 41 යි.
පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 57 කට කඩුලු 7 ක් දවා ගත්තා.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 397 ක් රැස් කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.
කෝලි පන්දු 113 කින් ලකුණු 117 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්. මෙතෙක් එක්දින ශතක 49 ක් වාර්තා කරමින් එක්දින පිටියේ වැඩිම ශතකලාභියා ලෙස සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ ලෝක වාර්තාව ඔහු අද බිද හෙලුවා.
අයියර් ලකුණු 105 ක් ලබා ගත්තේ පන්දු 70 කින්. හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 100 කට කඩුලු 3 ක් බිද හෙලුවා.