Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ගේ තරග 15 ක පරාජ රැල්ල නවතිද්දී අයර්ලන්තය හා බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 12 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 71 ක ජයක් වාර්තා කරමින්.

කේප් ටවුන් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කාන්තා කණ්ඩායම කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී Suzie Bates නොදැවී ලකුණු 81 ක් ලබා ගත්තේ පන්දු 61 කින්.

මෙම තරගයෙන් ලැබූ පරාජයත් සමග බංග්ලාදේශයට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.

මේ අතර, තරගාවලියේ 13 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහනයට පෙර කොදෙව්වන් අඛන්ඩව 20යි 20 තරග 15 ක් පරාජයට පත්ව තිබූ අතර, මෙම තරගයෙන් ලැබූ පරාජයත් සමග අයර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

කේප් ටවුන් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් රැස් කළ අතර, කොදෙව් ක්‍රීඩිකාවන් ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

Hayley Matthews නොදැවී ලකුණු 66 ක් පන්දු 53 කින් රැස් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ කොදෙව් කණ්ඩායමේ බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කිරීමට සමත් වුණා.