“කුසල් පන්දුවාර 80ක් 90ක් පුහුණුවීම් කරා ; මම පරදින්න ආස කෙනෙක් නෙවෙයි.”: සනත් ජයසූරිය

තමා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුවීම්වල දැඩි වෙනසක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා. එහි ප්‍රතිපල මේ වන විට ඇතැම් පිතිකරුවන්ගෙන් දැක ගත හැකිව තිබෙන බවයි ඔහු කියා සිටියේ.
ඉන්දියාව සමග හෙට(2) ආරම්භ වන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.
ඒ අනුව පන්දු යවන්නන් අනිවාර්යයෙන් පිතිකරණ පුහුණුවීම්වල නිරත වන ක්‍රමවේදයක් මෙන්ම කණ්ඩායමේ පිතිකරුවන් ද පැය දෙකක් තුනක් පිතිකරණ පුහුණුවීම්වල නිරත විය යුතු ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බවයි වැඩබලන පුහුණුකරු සදහන් කළේ.
“මම තාවකාලික පුහුණුකරු ධූරය ගත්ත දවසේ ඉදං මම කියන දෙයක් තමයි මේ පන්දු යවන්නෝ පුහුණුවීම් කටයුතුවලදී බැට් කරන්න ඕනේ කියන එක. ඒක පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඕෆ් ඩේ එකක් තියෙනවනම් අපි එදාටත් දාලා තියෙනවා විශේෂ පුහුණුවීම් සැසි පන්දු යවන්නන්ට. ” යනුවෙන් සනත් ජයසූරිය කියා සිටියා.
“අපි එයාලට පැය භාගෙ නෙවෙයි පැය එකහමාර දෙක පුහුණු වෙන්න හදලා තියෙනවා. අදත් මම ටීම් මීටින් එකේ කිව්වේ බැට් කරන වෙලාවට 11 දෙනාම බැට්ස්මන්ලා. ඒ හින්දා මට ඔක්කොමලා බැට් කරලා ඉන්න ඕනේ. මේ කට්ටිය ඉස්සරහට එනකොට තේරෙයි මම හිටියත් නැතත් දවසක මම මේ කියපු දේ ඇත්ත වෙලා තියෙනවා කියලා ඉස්සරහට. මොකද ඒ තරමටම මම මේ බැටින් යුනිට් එකට බැට් කරන්න ඒ අවස්ථාව සලසලා දෙනවා.
“මේ කට්ටියට විතරක් නෙවෙයි ටොප් ඕඩර් එකේ ඉදන්ම එක්කෙනෙක් පැය දෙක තුනක් බැට් කරන විදිහට සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ සිස්ටම් එක ශ්‍රී ලංකා කණ්ඩායමට විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා A කණ්ඩායමට, 19 න් පහළ කණ්ඩායමට, ඉහළ කාර්යය සාධන එකේ ඉන්න කෙනා විදිහට මම ඒක සෙට්අප් කරන්න ඕනේ.
“මම හිතන්නේ කමිදු මෙන්ඩිස් එහෙම ගහලා තිබුණා බෝල 600 ක්. කුසල් ජනිත් බැට් කරලා තිබුණා බෝල 600 ක් 700 ක් විතර. ඒ කියන්නේ ඕවර්ස් 80 ක් 90 ක් බැට් කරලා තියෙනවා දවසකට. ඒක අපි දැන් පටන් ගත්තා විතරයි. ඉතිං මම දැක්කා කුසල් ජනිත් එහෙම බැට් කරනකොට ඔයගොල්ලන්ටත් තේරෙන්නේ ඇති යම්කිසි වෙනසක් එයා බැට් කරන විදිහේ. මේක පටන් ගත්තා විතරයි. අපි මේ සිස්ටම් එක ටික කාලයක් අරගෙන යන්න ඕනේ ඉස්සරහට.”
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වන විවේචන සියලු දෙනා භාර ගැනීමට පුරුදු විය යුතු බව ද සනත් ජයසූරිය මෙහිදී පෙන්වා දුන්නා.
“මේ විවේචන භාර ගන්න පුරුදු වෙන්න ඕනේ අපි. මේවා අපි ඇගට අරගන්න ඕනේ. මේක ඇගට අරගෙන තමයි අපි ගහල මේකෙන් එළියට එන්න ඕනේ. මම කියලා තියෙන්නේ මේ හැම ප්‍රේක්ෂකයෙක්ම ඔයාලට ආදරේ කරනවා. මේ තාවකාලිකව තියෙන දුකට තමයි මේ අය මේ හැම දෙයක්ම කියන්නේ.
“ඉතිං මම හිතනවා මේ වෙලාවේ හිටපු ක්‍රීඩකයෙකු හැටියට, හිටපු නායකයෙකු හැටියට මේ අය සෑහෙන උත්සාහයක් දානවා පුහුණුවීම්වල. මම මේ වෙලාවේ එළියෙ හිටියත් මමත් සමහරක් වෙලාවට සමහරක් විදිහට දේවල් කියන්න පුලුවන් මේ ක්‍රිකට් එක දියුණු කරන්න. අපි ඒක භාර ගන්න ඕනේ. ඒ විවේචනය භාර ගෙන ඒකෙන් හොද දේවල් අරගෙන හැදෙන්න ඕනේ. මේ ළමයි ඒකට කැමැත්තෙන් ඉන්නේ.”
තමා ක්‍රීඩා කරන සමයේ දී මෙන්ම වර්තමානයේ දී ද කිසිවිටෙකත් පරාජය වීමට කැමැති පුද්ගලයෙකු නොවන බව ද සනත් මෙහිදී අවධාරණය කර සිටියා.
“මම ක්‍රීඩකයෙක් විදිහට, පුහුණුකරුවෙකු විදිහට මම කියලා තියෙන්නේ මම පරදින්න ආස කෙනෙක් නෙවෙයි. මට ෆැෂන් එකක් තියෙනවා මේ රටේ ක්‍රිකට්වලට. ගොඩක් අමාරුවෙන් මේ ක්‍රිකට් එක අපි මෙතන්ට ගෙනත් තියෙන්නේ. ඉතිං මේ ළමයි ඒක දන්නවා. මේගොල්ලේ ඒක කවදාවත් අත්ඇරලා නෑ. මේගොල්ලේ හැමදාම රැස්වීමක කියන්නෙත් අපි හොදට කරලා අපි ඒ තිබුණ තැනට මේ ක්‍රිකට් එක ගේන්න ඕනේ කියලා. මම ඒ අයට ඒ දෙන්න පුලුවන් උපරිම දේ කරනවා මගේ තියෙන අත්දැකීමත් එක්ක.
“මේ වෙලාවේ එකම ඉල්ලීම අපි මෙයාලට උදව් කරන්න ඕනේ. අඩුපාඩුකම් තියෙන්න පුලුවන් ක්‍රීඩකයෝ හැටියට. හැබැයි ඒ අය හැම දෙයක්ම ඒ අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට එන්න හදන්නේ. ඉතිං ප්‍රේක්ෂකයෝ මේ සිකුරාදා ඉදං තියෙන තරගවලට ඇවිල්ලා අපේ අයට මානසිකව දෙන්න පුලුවන් සහයෝගය දෙන්න කියල තමයි මම හිටපු නායකයෙක් හැටියට ඉල්ලන්නේ.