Ultimate magazine theme for WordPress.

කුසල්ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේ දී ජයග්‍රාහී අවසානයක්

Match Report

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(20) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී පැවැති 5 වැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැදී සිටි අතර, ඔහු පන්දු 58කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 69ක්. හයේ පහරක් හා හතරේ පහර 5ක් කුසල්ගේ ඉනිමට ඇතුළත්.

චරිත් අසලංක පන්දු 9කින් ලකුණු 20ක් ලබා ගත්තා. දසුන් ශානක ලකුණු 35(31) ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගියා.

දසුන් හා මෙන්ඩිස් අතර පස් වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 83(64)ක්.

ජයග්‍රහනය සදහා ලකුණු 7ක් අවශ්‍ය වූ අවස්ථාවේ දී දසුන් ශානක විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට රැගෙන ඒමට සමත් වූ නමුත්, අනතුරුව මුහුණ දුන් පන්දුවෙන් දසුන් දැවී ගියා.

පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න පහසුවෙන් එක් ලකුණක් ලබා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට තහවුරු කර දුන්නා.

මෙම තරගයේ දී ජාත්‍යන්තර වරම් දිනූ කමිල් මිෂාර(1) හා ජනිත් ලියනගේ(8) යන පිතිකරුවන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් කඩුලු 2ක් හා ඇෂ්ටන් ඒගාර් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ඉනිම ආරම්භයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් ඔස්ට්‍රේලියාවට එල්ල වූ අතර, පළමු පන්දුවාර 6 (පවර් ප්ලේ) අවසන් වන විට ඔවුන් ලබා ගෙන තිබුණේ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 8කටත්, බෙන් මැක්ඩර්මට් ලකුණු 3කටත් දැවී ගියා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 29ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 23ක් ලබා ගත්තා. මර්කස් ස්ටොයිනිස් ලකුණු 17යි.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 43(27)ක් හා ඩැනියල් සෑම්ස් ලකුණු 18(15)ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 150 සීමාව පසුකර රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රවීන් ජයවික්‍රම හා චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment
logo