කිසිදු පන්දුවක් නොයවාම අත්හැර දැමූ ඉතිහාසයේ 8 වැනි ටෙස්ට් තරගය බවට ඇෆ්ඝන් – නවසීලන්ත තරගය පත් වෙයි
නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර ඉන්දියාවේ Greater Noida හී දී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරගය වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමකින් හෝ තොරව අත්හැර දැමීමට විනිසුරුවන් අද(13) තීරණය කළා.
ඒ, තරගයේ පස්වැනි හා අවසන් දිනය ද අද දිනයේ දී වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන්.
දිගින් දිගටම ඇද හැළුනු වර්ෂාව හා ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය හේතුවෙන් කිසිදු දිනයකදී තරගය ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
එලෙස කිසිදු දිනයකදී තරගය නොපවත්වා ටෙස්ට් තරගයත් අත්හැර දැමීමට සිදු වූ ඉතිහාසයේ 8 වැනි තරගය ලෙසයි මෙම තරගය වාර්තා අතරට එක් වුණේ.
එමෙන්ම 1998 වසරෙන් පසුව කිසිදු පන්දුවක් නොයවාම ටෙස්ට් තරගයක් අත්හැර දැමීමට සිදු වූ පළමු අවස්ථාව ද මෙයයි.
නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය වන්නේ ද මෙම තරගයයි.
කිසිදු පන්දුවක් නොයවාම අත්හැර දැමූ ටෙස්ට් තරග –
- එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 1890 වසරේ දී (මැන්චෙස්ටර්)
- එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 1938 වසරේ දී (මැන්චෙස්ටර්)
- ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර 1970 වසරේ දී (මෙල්බර්න්)
- නවසීලන්තය හා පාකිස්තානය අතර 1989 වසරේ දී (ඩුනේඩින්)
- බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර 1990 වසරේ දී (ගයානා)
- පාකිස්තානය හා සිම්බාබ්වේ අතර 1998 වසරේ දී (ෆයිසලාබාද්)
- නවසීලන්තය හා ඉන්දියාව අතර 1998 වසරේ දී (ඩුනේඩින්)
- ඇෆ්ඝනිස්තානය හා නවසීලන්තය අතර 2024 වසරේ දී (Greater Noida)
මේ අතර, ඇෆ්ඝනිස්තානයට එරෙහි ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමෙන් පසුව නවසීලන්ත කණ්ඩායම හෙට(14) දිනයේ දී ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් මෙරටට ළගා වීමට නියමිතව තිබෙනවා.
එම සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක් ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21 වැනිදා විවේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පළමු තරගය වෙනුවෙන් දින වෙන් කර ඇති අතර, දෙවැනි තරගය සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
The one-off Test against Afghanistan has officially been called off early on day five following further rain in Noida.
The Test squad will relocate to Sri Lanka tomorrow ahead of the two-Test WTC series in Galle starting Weds, Sept 18 – Live in NZ on @skysportnz #AFGvNZ #SLvNZ pic.twitter.com/IyfPdvlwMN
— BLACKCAPS (@BLACKCAPS) September 13, 2024