කිෂන්ගේ ද්විත්ව ශතකය හා කෝලිගේ ශතකය ඉන්දියාවට දැවැන්ත ජයක් ගෙනෙයි
Match Report
ඉෂාන් කිෂන් වාර්තා කළ වේගවත් ද්විත්ව ශතකය හා විරාට් කෝලි වාර්තා කළ අනර්ඝ ශතකය හමුවේ බංග්ලාදේශය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 227 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(10) සමත් වුණා.
Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 409 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු 8ක් දැවී සිටියදී යි.
එක්දින ජාත්‍යන්තර තරගයක පිතිකරුවෙකු වාර්තා කළ 9 වැනි ද්විත්ව ශතකයේ හිමිකරු බවට පත් වෙමින් ඉෂාන් කිෂන් ලකුණු 210 ක් රැස් කළේ පන්දු 131 ක් පමණක් වැය කරමින්. හයේ පහර 10 ක් හා හතරේ පහර 24 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
2019 වසරෙන් පසුව එක්දින ශතකයක් වාර්තා කළ විරාට් කෝලි ලකුණු 113 කට දැවී ගියා. පන්දු 91 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.
පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, එබඩොට් හොසේන් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 34 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.
ශකිබ් අල් හසාන් ලකුණු 43 ක්, ලිටොන් දාස් ලකුණු 29 ක් හා යසීර් අලී ලකුණු 25 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අක්සාර් පටෙල් හා උම්රාන් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශයයි.