Ultimate magazine theme for WordPress.

ක්‍රීඩාංගනයට ගොස් LPL බලන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙන්නේ මෙහෙමයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ද නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ ක්‍රීඩාංගනයට ඇතුළු කර ගත හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසකට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

එල්.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(2) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මේ වන විට ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද නැරඹීමේ අවස්ථාව හිමිව ඇත්තේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසකට පමණයි.

එල්.පී.එල් තරගාවලියේ තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් ද කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවයි මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ.

අවම වශයෙන් ක්‍රීඩාංගනයට පිවිසෙන දිනයට සති දෙකකට පෙර දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගෙන තිබීම ද අනිවාර්යය බව හෙතෙම අවධාරණය කළා.

අවශ්‍ය වුවහොත් පමණක් ප්‍රේක්ෂකයින් ද ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කරන බවයි වෛද්‍ය කමිටු ප්‍රධානීවරයා පැවසුවේ.

ලබන 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙන එල්.පී.එල් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් පළමු තරගය ගාල්ල හා යාපනය කණ්ඩායම් අතර එළඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.