Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් සදහා World Club Championship තරගාවලියක්

ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් (World Club Championship) සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා.

ඒ, මීට පෙර පැවැති Champions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා වසර 10 කට වැඩි කාලයක් ගතව ඇති පසුබිමකයි.

ක්‍රීඩා සමාජ සදහා මීට පෙර පැවැති Champions League T20 තරගාවලිය 2009 වසරේ සිට 2014 දක්වා පැවැති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සංවිධාන කළා.

කෙසේ වෙතත්, එම තරගාවලිය යටතේ පැවැත්වුණේ තරග වාර හයක් පමණක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර අවම වීම නිසා එම තරගාවලිය 2014 වසරෙන් පසුව අත්හැර දැමුණා.

එම කාලයට වඩා මේ වන විට ලොව පුරා බොහෝ ලීග් තරගාවලි ආරම්භ වී තිබෙනවා.

පසුගිය වසර කිහිපයේදී ලංකා ප්‍රිමියර් ලීග්, එංගලන්තයේ Hundred, දකුණු අප්‍රිකාවේ SA20, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ILT20, ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් (MLC) වැනි තරගාවලි ආරම්භ කෙරුණා.

ගෝලීය ක්‍රීඩා සමාජ තරගාවලි මේ වන විට අනෙක් ක්‍රීඩාවලත් ඉතා ප්‍රසිද්ධියට පත් වෙමින් පවතින අතර, විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාවේ ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 32 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. ලබන 14 වැනිදා එම තරගාවලිය ඇමෙරිකාවේදී ආරම්භ වනවා. රග්බි තරග සදහාත් මේ ආකාරයේම ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් 2028 දී ආරම්භ කිරීමට නියමිතයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් මෙවැනි තරගාවලියක අවශ්‍යතාවය යළි පෙන්වා දී තිබෙනවා. එහි වැඩ කටයුතු මේ වන විට ආරම්භක අවස්ථාවේ පවතින බව සදහන්.

පිරිමි හා කාන්තා අංශ දෙකෙන්ම මෙම ක්‍රීඩා සමාජ ලෝක ශූරතා තරගාවලිය පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

පසුගිය වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ගයානා විසින් Global Super League නම් තරගාවලියක් සංවිධාන කළ අතර, ගෝලීය ලීග් තරගාවලි පහකින් එම තරගාවලියට කණ්ඩායම් එක් වුණා. එම තරගාවලියේ දෙවැනි අදියර ජූලි මාසයේදී පැවැත්වෙනවා.