“ක්‍රිකට් කියන්නේ මෙහෙම තමයි ඉතිං ; මේ තරගෙ විතරයි අපිට පොඩ්ඩක් අතපසු වුණේ” : පැතුම්

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිමට හොද ආරම්භයක් ලබා ගත්ත ද ලකුණු 300 ක් කරා යාමට නොහැකි වීම තරගයේ පරාජයට බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5ක තවත් අමිහිරි පරාජයක් ලැබීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
“මම හිතනවා ක්‍රිකට් කියන්නේ මෙහෙම තමයි ඉතිං, අපි කළිං තරග දෙක හොදට ක්‍රීඩා කරලා තිබ්බා. මෙහෙම වෙන්න පුලුවන් ඉතිං. අපේ වැරැදි හදාගෙන ඉදිරි තරගවලට යන්න තමයි බලාපොරොත්තුවෙන්නෙ.” යනුවෙන් පැතුම් කියා සිටියා. (දර්ශන පහතින් නරඹන්න)
මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 157 ක් ලෙස සටහන්ව තිබූ අතර, අනතුරුව අවසන් කඩුලු 9 ලකුණු 52 ක් තුළ බිද වැටුණා.
මෙලෙස ඉතා හොද මට්ටමක සිට හදිසියේ සිදු වන ඉනිම් බිද වැටීම් හමුවේ ශ්‍රී ලංකාව තරග පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය නොවන බව නොරහසක්.
“ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ හොද ඒරියාස්වල බෝල් කරා මැද ඔවර්ස්වල ඇවිල්ලා. ඉතිං මම හිතනවා අපේ බැට්ස්මන්ලට ඒක පොඩ්ඩක් අමාරු වුණා ඒ පීරියඩ් එක හරියට මැනේජ් කර ගන්න. ඒ ටික අපි හරියට ගැහුවනම් ලකුණු 300 ක් විතර ගහගන්න තිබ්බා අපිට.” යනුවෙන් ඉනිම බිද වැටීමට හේතුව පැතුම් පහදා දුන්නා.
කෙසේ වෙතත්, දිගින් දිගටම සිදු වන මෙවැනි ඉනිම් බිද වැටීම් සදහා විසදුමක් නොමැති වීම කණගාටුවට කරුණක්.
ධනංජය ද සිල්වා වැනි මුල්පෙල පන්දුවට පහර දිය යුතු දක්ෂ පිතිකරුවෙකු ඉනිම් අවසන් කිරීමේ වගකීමක් සහිතව අංක 6 ස්ථානයේ පන්දුවට පහර දීමට සැලැස්වීම ද මවිතයට කරුණක්.
ඉනිම් අවසන් කිරීමේ දක්ෂතාවය නොව ඔහුට ඇත්තේ මුල් පෙල පන්දුවට පහර දෙමින් සාර්ථක ඉනිමක් ගොඩ නැගීමේ හැකියාව බව බළධාරීන් තේරුම් ගන්නේ කවදාදැයි නොදනිමු.
මෙලෙස දිගින් දිගටම ඔහුට කළ නොහැකි රාජකාරියක් පැවරීම ඔස්සේ සිදු වන්නේ තවත් දක්ෂ පිතිකරුවෙකුගේ එක්දින ක්‍රීඩා දිවිය විනාශ වී යාමයි.
තරග රටා (එක්දින, ටෙස්ට් හා 20යි 20) පටලා ගැනීම, සුදුසු ස්ථානවල සුදුසු ක්‍රීඩකයින්ට පන්දුවට පහර දීමට අවස්ථාව නොදීම, සුදුසු කාලයේ දී සුදුසු ක්‍රීඩකයින්ට නිසි අවස්ථාව ලබා නොදීම වැනි හේතු නිසා අපට දක්ෂ ක්‍රීඩකයින් රැසක් පසුගිය කාලයේ අහිමි වූ බව නොරහසක්.
ලෝක කුසලානයේ දී ඉන්දියාවේ දී ලැබෙන පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවලට කිසිදු පෙර සූදානමක් නොමැතිව මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම ක්‍රිකට් බළධාරීන්ගේ සැලසුම් යළි යළිත් ප්‍රශ්න කළ යුතු අවස්ථාවක් නොවන්නේද?
ආසියානු කුසලාන තරගාවලියේ දී මෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූයේ පන්දු යවන්නන්ට උචිත තණතීරුවල ක්‍රීඩා කිරීමටයි.
ඒ හේතුවෙන් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල පවා ඉනිම් ගොඩ නගන්නේ කෙසේ ද? පන්දු යවන්නේ කෙසේ ද? යන්න පිළිබද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නිසි අත්දැකීම් නොමැති බව මේ වන විටත් සනාථ වී අවසන්.
මාධ්‍ය හමුවේ දී පැතුම් නිස්සංක දැක් වූ අදහස් –
— Hitwicket.lk (@HitWicketlk) October 17, 2023