ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බදු පෙත්සම ගැන අභියාචනාධිකරණය අද දුන් නියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩ ගත කිරීමට සහ ඒ ඔස්සේ රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොණු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
එමෙන්ම මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේදැයි වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගෙන මීළඟ දිනයේදී අධිකරණය දැනුවත් කරන ලෙසයි විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතාට අද දැනුම් දී ඇත්තේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන ව්නිසුරුවරුවන් ඉදිරියේදීයි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.
2023 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අදාළ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවයි ඔහු සදහන් කළේ.
ක්‍රිකට් ක්‍රීඩාව යනු අවධානම් සහගත රැකියාවක් බවත් තම සේවා දායකයින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන බවත් නීතිඥවරයා කියා සිටියා.
ඒ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටියේ.
මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසයි මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දන්වා සිටියේ .
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වනදා කැඳවන ලෙස ද නියම කළා.
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.