Ultimate magazine theme for WordPress.

ICC තහනම නිසා ඩොලර් මිලියන 50 ක අලාභයක් ; මිලියන 290 ක් ඇමති අවභාවිතා කළ බවටත් ශම්මිගෙන් චෝදනා

වෙනත් ක්‍රීඩා සදහා යෙදවීම වෙනුවෙන් තම ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දුන් රුපියල් මිලියන 290 ක මුදලක් අමාත්‍යවරයා විසින් අවභාවිතා කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා කරනවා.

අද(11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කළේ අමාත්‍යවරයා විසින් එම මුදල් සිය හිතවතුන් හා නීතිඥයින් වෙනුවෙන් වියදම් කර ඇති බවයි.

ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායමෙන් 20% ක් හෙවත් රුපියල් බිලියන 4.2 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත ලබා දෙන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා මීට මාස හයකට පමණ පෙර ඉල්ලා සිටි බවත්, අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය සමග ගැටුමක් ආරම්භ කළේ එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවත්, ශම්මි සිල්වා මහතා සදහන් කළා.

මේ වන විට ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට අයි.සී.සීය ගෙන ඇති තීරණය හේතුවෙන් එළඹෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙරට පැවැත්වීමේ අවස්ථාව ද අහිමි වීමේ දැඩි අවධානමක් මතුව ඇති බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

අයි.සී.සී තහනම ඉවත් නොවුණහොත් ලබන වසරේ දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක අලාභයක් සිදු වන බව ද සභාපති ශම්මි සිල්වා මහතා අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වංචා දූෂන සිදු කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එවැනි දූෂන සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා අධිකරණය හමුවේ සනාථ කරන ලෙසත් සභාපතිවරයා මෙහිදී අමාත්‍යවරයාට අභියෝග කළා.

අයි.සී.සී ය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ මෙරට ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමකට අනුව බවට එල්ල වන චෝදනා ද සභාපතිවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

මේ අතර, ලෝක කුසලාන තරගාවලිය සදහා ආබාධවලට ලක්ව සිටි දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග ඇතුළත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණයට අමාත්‍යවරයා එකග නොවූ බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපය වෙනුවෙන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවත්, තරග කිහිපයකින් පසුව එම ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රීඩා කිරීමට හැකියාව පැවැති බවත් ශම්මි සිල්වා මහතා සදහන් කළා.