ක්‍රිකට් අර්බුදයට ඉන්දියාවට චෝදනා කිරීම ගැන රජයේ කනගාටුව ; ජනපතිත් ජේ ශාහ්ට කතා කරයි

මෙරටට පනවා ඇති ක්‍රිකට් තහනමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් අතර දුරකතන සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
අද(17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ක්‍රිකට් අර්බුදය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි.
“අද වෙනකොට ක්‍රීඩාංගනයක වැඩකරන තණකොල කපන සේවකයෙකුටවත් පඩියක් ගන්න විදිහක් නෑ. මොකද අයි.සී.සී තහනම තුළ. වතුර ටිකක් දාන මිනිහෙක්ටවත් ඒ පඩිය ගන්න විදිහක් නෑ.” හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.
“මම රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට කිසිදු විරුද්ධත්වයක් නෑ. ක්‍රිකට් ආයතනයේ සංයුතිය වෙනස්විය යුතුයි. නමුත්, එය පනතක් විදිහට, නීතියෙන්, උසාවි ගිහිං තමයි ඒ වෙනස කරන්න ඕනෙ.
“ඊයේ දවසේ දී ජනාධිපතිවරයා ඉන්දියාවේ ජේ ශාහ්ට කතා කරා දුරකතනයෙන්. ඒකට හේතුව අද මේක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයකට පත් වෙලා තියෙනවා. ජේ ශාහ්ගේ තාත්තා තමයි අමිත් ශාහ්. මෝඩි අගමැතිතුමාගෙ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙවෙයි ජාත්‍යන්තර අර්බුදයක් හා ක්‍රිකට් අර්බුදයකට එහාට ගියා මේක. ඇයි? මේ මුළු විපක්ෂයම දේශපාලන වශයෙන් මේක වාසියකට ගන්න උත්සාහ ගන්නවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට පඩි හම්බවෙන්නේ නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ 20 දෙනෙක් තේරෙන්න කොල්ලෝ 200 කට වඩා A ඩිවිෂන් ක්‍රිකට් ගහන්න ඕනෙ. ඒ ක්‍රිකට් ගහන ක්‍රීඩකයො රස්සා කරන්නේ නෑ. ඒගොල්ලෝ වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයින්.
“මේ ජනවාරි මාසයේ තියෙන 19න් පහළ ලෝක කුසලානයට 800 ක් එන්න හිටියා ලංකාවට. අයි.සී.සී තහනම තිබ්බොත් එන්නේ නෑ. අයි.සී.සී තහනම තිබ්බොත් රුපියලක්වත් ලැබෙන්නේ නෑ.”
අනතුරුව අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් දක්වමින් සදහන් කළේ මෙරටට පනවා ඇති අයි.සී.සී ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සදහා ක්‍රිකට් සම්බන්ධයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඉදිරියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි.
එමෙන්ම මෙරට ක්‍රිකට් අර්බුදයට විදෙස් රටවල්වලට චෝදනා කිරීම පිළිබද රජයක් ලෙස කනගාටු වන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
“පාර්ලිමේන්තුවම එක්වෙන්න ඕනෙ අපිට පනවලා තියෙන තහනම ඉවත් කර ගන්න. ඒ තහනම තවදුරටත් පවත්වාගෙන ගියොත් එහෙම අපිට ජනවාරි මාසයේ 19න් පහළ ලෝක කුසලානය නෙවෙයි අපිට ඩිවිෂන් 1 ගහන්න හම්බවෙන්නෙත් නෑ. හුගක් දෙනෙක් හිතනවා නෑ කමක් නෑ තහනම් කරලා හරි මේක හදාගන්න පුලුවන් කියලා. හැබැයි ඩිවිෂන් 1 ගහන්න බැරිවුණොත් අපේ ක්‍රීඩකයින්ට ඒ තියෙන අත්දැකීම ලැබෙන්නේ නෑ – ඔවුන්ට ඉදිරියට යන්න ලැබෙන්නේ නෑ. මේකෙ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට, 19න් පහළ කණ්ඩායමට, 21 න් පහළ කණ්ඩායමට, මේ හැම එක්කෙනෙක්ටම බලපානව.
“ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට, ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ලේකම්වරයාට ඇගිල්ල දිගු කරලා හරියන්නේ නෑ අපේ තියෙන පරිපාලන දුර්වලකම් පිළිබදව. අපි හදාගන්න ඕනෙ ක්‍රමවේදයක් ඒක කර ගන්න. අපි කනගාටුවෙනවා රජයක් වශයෙන්, අපි භාවිතා කළ යුතු නැහැ අනිත් රටවල්වලට කියන්න ඒ රටවල් තමයි අපිට අතපෙවීම් කරන්නේ කියලා. ඒක වැරැදි මතයක්.
“අපේ කමිටුවට ජනාධිපතිවරයා භාර දීලා තියෙනවා අයි.සී.සී එකත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරලා තියෙනවා අයි.සී.සී එකත් එක්ක සාකච්ඡා කරන්න. “