කවාජාගේ මැරතන් ඉනිම හා ග්‍රීන්ගේ මංගල ශතකය ඉන්දියාව අසරණ කරයි
Day 2 Report
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තීරණාත්මක සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය(10) අද නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.
ආරම්භක පිතිකරු උස්මාන් කවාජාගේ ලකුණු 180 න් ශක්තිමත් වූ ඔස්ට්‍රේලියානු පළමු ඉනිම අද සියලු දෙනා දැවී සටහන් වූයේ ලකුණු 480 ක් ලෙසයි. පන්දු 422 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 21 ක් ඇතුළත් වුණා.
අහ්මදාබාද් හී දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ කැමරන් ග්‍රීන් ද අද සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.
පන්දු 170 කින් ලකුණු 114 ක් වාර්තා කළ ග්‍රීන්ගේ ඉනිමට හතරේ පහර 18 ක් ඇතුළත් වුණා. අද දිනයට තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටි අතර, ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි කවාජා හා ග්‍රීන් 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 208 (358) ක්.
ඇලෙක්ස් කෙරී (ලකුණු 0) හා මිචෙල් ස්ටක් (ලකුණු 6) කඩිනමින් දවා ගැනීමට ඉන්දියාව සමත් වුවත්, පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති අහ්මදාබාද් තණතීරුව තුළ ඔස්ට්‍රේලියානු පසු පෙල පිතිකරුවන් ද ඉන්දීය පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු වාර්තා කිරීම කැපී පෙනුණා. ටොඩ් මර්ෆි ලකුණු 41 ක් රැස් කළ අතර, නේදන් ලයන් ලකුණු 34 කට දැවී ගියා.
ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 32 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 38 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.
පන්දු යවන්නන්ට කිසිදු සහායක් ලබා නොදුන් තණතීරුවක පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 91 කට කඩුලු 6 ක් දවා ගැනීම ද විශේෂත්වයක්.
අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 36 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 444 ක්.
රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 17 ක් හා ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් මෙම තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම අනිවාර්යයෙන් සිදු විය යුතුයි.
එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ද තරග 2-0 ක් ලෙස ජය ගතහොත් පමණයි ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත හැකි වන්නේ.