කල් දැමුණු ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය මැයි 18 වනදා සිට

ඉදිර වසරක කාලය සදහා වන පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින හා 20යි 20 තරගාවලියක් ද එම තරග කාලසටහනට ඇතුළත්.
එම තරග පාකිස්තානයේ රාවල්පින්ඩි හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එම තරග සංචාරය මැයි 18 වනදා සිට ජූනි 7 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.
අයි.සී.සී කාන්තා ශූරතාවලිය (එක්දින) (ICC Women’s Championship cycle) යටතට අයත් ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, 20යි 20 තරග 3ක් ද මෙම තරග සංචාරයට ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පසුගිය වසරට යෙදී තිබුණ ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සිදු වෙමින් පැවැති වෙනස්කම් හේතුවෙන් අදාළ සංචාරය මෙම වසරට කල් දැමුණා.
1998 වසරේ සිට ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර තරගාවලි පවත්වා ඇතත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා මෙතෙක් පාකිස්තාන සංචාරයක නිරත වී නැහැ.
කෙසේ වෙතත්, 2005/06 තරග වාරයේ දී ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව එරට සංචාරයක නිරත වී තිබුණා.