කමිල් මිෂාරට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාරට වසරක තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
ඒ, නිමා වූ බංගලාදේශ තරග සංචාරය අතරතුරදී සිය සංචාරක කොන්ත්‍රාත්තුවේ අඩංගු “ක්‍රීඩකයාගේ හැසිරීම/චර්යාව පාලනය කරන නීති” උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධිය හේතුවෙන්.
තරග දෙකකින් යුත් එම ටෙස්ට් තරග සංචාරය අතරතුර දී ඔහු පිටස්තර පුද්ගලයකු සිය හෝටල් කාමරය වෙත ගෙන්වා ගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.
ඒ අනුව ඔහුව තරග සංචාරය අතරතුර දීම වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට කැදවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.
ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ තිබූ සීසීටීවී දර්ශනවලින් ද මෙම සිද්ධිය තහවුරු වී තිබෙනවා.
එමෙන්ම 21 හැවිරිදි කමිල් මිෂාර විසින් සිය වරද පිළිගෙන ඇති බවයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොවනු ඇති.
ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඔහුට ලබා දෙන දඩුවම අවසන් වශයෙන් තීරණය කිරීමට නියමිතයි.