Ultimate magazine theme for WordPress.

කඩුලු 6කින් ග්‍රීන්ස් පැරද වූ චන්දිමාල්ගේ රෙඩ්ස් පිල දසුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC ග්‍රේස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වන කණ්ඩායම තෝරා ගැනීමේ තීරණාත්මක තරගය බවට පත්ව තිබූ මූලික වටයේ අවසන් තරගයෙන් ජය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් SLC රෙඩ්ස් කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ SLC ග්‍රීන්ස් කණ්ඩායමයි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා කෙරුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි රෙඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අවිෂ්ක ප්‍රනාන්දු  හා දිනේෂ් චන්දිමාල් පන්දු 49කින් වේගවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේ සිය කණ්ඩායමට ජයග්‍රාහී අඩිතාලමක් ගොඩ නගමින්.

ප්‍රාහාරාත්මක පිතිහරඹයක නියැළුණු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 38 ක් ලබා ගත් අතර, ඔහුට අනගි සහායක් ලබා දුන් නායක දිනේෂ් චන්දිමාල් පන්දු 32 කදී ලකුණු 40 ක් ලබා ගත්තා.

අසේල ගුණරත්න නොදැවී ලකුණු 14ක් ද, නිපුන් ධනංජය ලකුණු 13ක් ද ලබා ගනිමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී පන්දුවාර 3 ක දී ලක්ෂාන් සඳකැන් ලකුණු 14 කට කඩුලු 2 ක් දවා ගත්තා. ඊට අමතරව සුමින්ද ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

රෙඩ්ස් පිල ජය තහවුරු කර ගත්තේ පන්දුවාර 14.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් සමින්ද ප්‍රනාන්දු ලකුණු 37ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක පන්දු 13 කදී ලකුණු 22 ක් ලබා ගත්තා.

ඔවුන්ගේ කණ්ඩායමේ දැවී ගිය කඩුලු 7 න් 4 ක්ම දුවද්දී දැවී යෑම් වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී හිමේෂ් රාමනායක, සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහණයත් සමඟ රෙඩ්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට දෙවැනි ස්ථානය හිමිව තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් මෙතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් SLC බ්ලූස් කණ්ඩායම තෙවැනි ස්ථානයට පත් වූ අතර, ඔවුන්ට තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වුණා.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 24 වැනිදා ග්‍රේස් කණ්ඩායම හා රෙඩ්ස් කණ්ඩායම අතර රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

Leave a comment
logo