කඩුලු 11ක් බිද වැටුණු පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට
Day 1 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(3) ජොහැනස්බර්ග් හී වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 35ක්.
කීගන් පීටර්සන් නොදැවී ලකුණු 14ක් ද, ඩීන් එල්ගර් නොදැවී ලකුණු 11ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් ලකුණු 7කට දවා ගැනීමට මොහොමඩ් ෂාමි සමත් වුණා.
ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ඉන්දීය පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 167 ක්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක කේ.එල් රාහුල් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
නිත්‍ය නායක විරාට් කෝලි ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.
කේ.එල් රාහුල් ලකුණු 50ක් ලබා ගත් නමුත්, නම් දැරූ සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.
මයාන්ක් අගාර්වල් ලකුණු 26කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 3කටත්, අජින්කෙයා රහානේ පළමු පන්දුවෙනුත් දැවී ගියා.
කෝලි වෙනුවට මෙම තරගයට ආදේශ කෙරුණු හනුමා විහාරි ලකුණු 20ක් ලබා සිටියදී දැවී ගියේ රසී වැන් ඩර් ඩුසේන් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්.
රිෂාබ් පාන්ට් ලකුණු 17ක් රැස් කළා. බිද වැටුණු ඉනිමට යම් සහනයක් ගෙන ඒමට සමත් වූ ආර්. අශ්වින් ලකුණු 46ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිද හෙලූ අතර, ඩුවාන් ඔලිවියර් හා කාගිසෝ රබාඩා කඩුලු 3 බැගින් බිද හෙලුවා.