Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාවේ හිතුවක්කාර තීරණයට ඇෆ්ඝනිස්තානයෙන් පිළිතුරු

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ තවත් තරගාවලියක් කල් දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති ක්‍රිකට් ආයතනවලට පැනවීමක් සිදු නොකරන ලෙසත්, ඒ වෙනුවට සියලු කලාපවල ක්‍රිකට් සංවර්ධනයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග සංචාරයක් ලෙස තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් එළඹෙන අගෝස්තු මාසයේ දී ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අතර, ඇෆ්ඝනිස්තානය තුළ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා මානව හිමිකම්වල පවතින පිරිහීම සැළකිල්ලට ගනිමින් එම තරගාවලිය කල් දැමීමට කටයුතු කළ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බව ද ඔවුන් කියා සිටියා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරගාවලියක් මෙලෙස කල් දැමීමට පියවර ගත්තේ තෙවැනි වරටයි.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මීට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡාවල නිරත වූ බවත්, තරගාවලි අවලංගු කිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම වෙනුවට විකල්ප විසඳුම් ගවේෂණය කිරීමට යෝජනා කර තිබූ බවත් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිකුත් කළ නිවේදනයේ සදහන්.

දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා පවත්වා ගෙන යාමේ වැදගත්කම ද එරට ක්‍රිකට් ආයතනය මෙහිදී පෙන්වා දුන්නා.