“ඒ තරගාවලියෙන් පස්සෙ මම දැනං හිටියේ නෑ ආයෙ ටෙස්ට් ක්‍රිකට් ගහයි ද කියලවත්” – ටේලර්

0 882

නවසීලන්ත පිතිකරු රෝස් ටේලර් තම සියවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ලබන 21 වනදා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහිව වෙලින්ටන් හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ දී යි.

මේ වන විට ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කර ඇත්තේ නවසීලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

ඩැනියල් විටෝරි, ස්ටීවන් ෆ්ලෙමින්ග් සහ බ්‍රෙන්ඩන් මැකලම් එම ක්‍රීඩකයින් තිදෙනායි.

රෝස් ටේලර් තම සියවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමත් සමග එම කඩඉමට ටෙස්ට්, එක්දින සහ 20යි 20 තරග රටා ත්‍රිත්වයෙන්ම ළගා වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ඔහු පත් වනු ඇති.

මේ අතර, තම සියවන ටෙස්ට් තරගය සම්බන්ධයෙන් රෝස් ටේලර් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

සියලු තරග රටාවන්ගෙන් තරග සියයක් ක්‍රීඩා කිරීම සදහා අපේක්ෂාවෙන් පසුවූයේ ද යන්න එහිදී මාධ්‍යවේදීන් රෝස් ටේලර්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සදහන් කළේ තමා සිය පළමු ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් අනතුරුව යළි ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට හැකිවේද යන්න පවා තමා දැන නොසිටි බවයි.

රෝස් ටේලර් සිය පළමු ටෙස්ට් තරගාවලියේ දී ඉනිම් 4ක් තුළ දී ලබා ගෙන තිබුණේ ලකුණු 44ක් පමණයි.

මේ වන විට ටෙස්ට් තරග 99කට ක්‍රීඩා කර ඇති ටේලර් එහිදී ශතක 19ක් ද සමගින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7174ක්.

You might also like

Leave A Reply

Your email address will not be published.