Ultimate magazine theme for WordPress.

‘ඒක එක්තරා පිරිසක් කරන දෙයක් අනිත් ප්‍රේක්ෂකයින්ව තරහ කරවන්න අපිත් එක්ක’ : වනිදු හසරංග

"ගිය වර්ල්ඩ් කප් එකෙත්, මේ වර්ල්ඩ් කප් එකෙත් අපි අපේ මිස්ටේස්ක්ස් ගැන කතා කරා. ඉතිං තවමත් අපි ඒවා හදා ගෙන නැහැ. මම හිතන්නේ ඒකයි මේ වගේ තරගාවලියකට ඇවිල්ලා අපි පළමු වටයෙන්ම ඉවතට යන්නේ." 

සිය කණ්ඩායම විසින් දිගින් දිගටම සිදු කරන අත්වැරැදීම් මෙතෙක් නිවැරැදි කර ගැනීමට කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙන් 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග පවසනවා.

තරගාවලියේ මූලික වටය යටතේ නෙදර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 83 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී ලැබූ එකම ජයග්‍රහනය වන්නේ අද තරගයේ දී ලැබූ ජයග්‍රහනයයි.

“හැමදාම තරගාවලියක් ඉවර වුණාම අපි කතා කරනවා අපි ගොඩක් මිස්ටේක්ස් කරනවා කියලා. ඉතිං මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි හිතලා බලන්න ඕනේ අපි ඒ මිස්ටේක්ස් හදා ගන්නවද කියන එක.” යනුවෙන් වනිදු සදහන් කළා.

“නායකයා විදිහට මට ඇත්තටම ගොඩක් කණගාටුයි, මොකද මම හිතන්නේ අපි තාමත් අපේ මිස්ටේක්ස් තාම හරියට හදාගෙන නැහැ. ඉතිං ජාත්‍යන්තර කණ්ඩායමක් කියන්නේ මිස්ටේක්ස් ඉක්මනට හදා ගන්න ඕනේ. ඉතිං ඒව හදා ගත්තොත් තමයි අපිට ඕනෙම තරගයක් ජයග්‍රහනය කරන්න පුලුවන් වෙන්නේ.

“ගිය වර්ල්ඩ් කප් එකෙත්, මේ වර්ල්ඩ් කප් එකෙත් අපි අපේ මිස්ටේස්ක්ස් ගැන කතා කරා. ඉතිං තවමත් අපි ඒවා හදා ගෙන නැහැ. මම හිතන්නේ ඒකයි මේ වගේ තරගාවලියකට ඇවිල්ලා අපි පළමු වටයෙන්ම ඉවතට යන්නේ.” 

මේ අතර, ධනංජය ද සිල්වා විස්සයි 20 කණ්ඩායමේ සිටීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබදව ද මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා. ඒ, අද තරගයේ දී ධනංජය හයේ පහරක් හා හතරේ පහර 3ක් සමගින් පන්දු 26 කින් ලකුණු 34 ක් ලබා ගත් පසුබිමක් තුළයි.

“එක තරගයක් ෆේල් වුණා කියලා අපිට බැහැ කිසිම ක්‍රීඩකයෙකුට දෝෂාරෝපණය එල්ල කරන්න. මොකද ඒකයි තව බැට්ස්මන්ලා හය හත් දෙකෙන් කණ්ඩායමේ සෙල්ලම් කරන්නේ. මේක ඇවිල්ලා ටීම් ගේම් එකක්. ටීම් ගේම් එකකට ආවම මම හිතන්නේ ටීම් එකේ හැමදාම හැම එක්කෙනාම ලකුණු ගහන්නේ නැහැ. ඉතිං ලකුණු ගහන දෙන්න තුන්දෙනා වගකීම අරගෙන ඉනිම ගොඩනගන්න ඕනෙ. එහෙම කරොත් තමයි අපිට කණ්ඩායමක් විදිහට ජයග්‍රහනය කරන්න පුලුවන්.

“ඒ දෙන්නම (ධනංජය හා චරිත් අසලංක) අද තරගයේ දී දස්කම් පෙන්නුවා. ඒ දෙන්නා පෙන්නුවා ඒ දෙන්නට මොනවද කරන්න පුලුවන් කියන එක. අනික් එක මේ වගේ අමාරු තණතීරුවල ඉතිං ක්‍රීඩකයින්ට ටික වේලාවක් අරං සෙල්ලම් කරන්න වෙනවා. ඉතිං ඒ දෙන්නා අද තරගයේ පෙන්නුවා ඒ දෙන්නට මොකක්ද කණ්ඩායම වෙනුවෙක් කරන්න පුලුවන් කියලා.”

මේ අතර, කණ්ඩායම ලබන පරාජ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පල වන විවේචන පිළිබදව ද මෙහිදී ශ්‍රී ලංකා නායකයා අදහස් පල කළා.

“ක්‍රීඩකයෙක් විදිහට අපි ඇත්තටම සමාජ මාධ්‍ය බලන්න හොද නෑ. ලංකාවේ ප්‍රේක්ෂකයෝ අපිට ලෝකේ ඕනෙ තැනක ගියත් අපිට සපෝර්ට් කරන විදිහ අපි දන්නවා. අපි දැක්කා අද තරගයෙත් මේ වගේ රටකත් ඇවිල්ලා අපිට සපෝර්ට් කරන ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතිං ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයින්ට කිසිම වරදක් කියන්න බෑ සමාජ මාධ්‍යවල පල වන දේවල්වලට.

“කණ්ඩායමක් විදිහට අපි දන්නවා ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්නවා කියලා. අපි ජයග්‍රහනය කරද්දිත් ඒ වගේම අපි තරග පරාජය වෙද්දිත්. සමාජ මාධ්‍යවල ගොඩක් වෙන දේවල් මම හිතන්නේ එක්තරා පිරිසක් විසින් කරන දෙයක් අනිත් ප්‍රේක්ෂකයින්ව තරහ කරවන්න අපිත් එක්ක.

“අපි කණ්ඩායමක් විදිහට අපි කවදාවත් තරග පරාජ වෙන්න ක්‍රීඩා කරන්නේ නැහැ. මොකද අපි ක්‍රීඩා කරන්නේ අපේ රට දිනවන්න. ප්‍රේක්ෂකයොත් ඒක දන්නවා. ප්‍රේක්ෂකයෝ ඒකයි අපිට මෙච්චර සපෝර්ට් කරන්නේ අපි තරග පරාජය වෙනකොටත්. ප්‍රේක්ෂකයින්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ අපිට මෙහෙම සපෝර්ට් කරන එකට.”

මේ අතර, ඇමෙරිකාවේ තත්ත්වයන්ට හුරු වීම සදහා තරගාවලිය ආරම්භ වීමට දින 10කට පෙර සිය කණ්ඩායම ඇමෙරිකාවට පිටත් කර හැරීමට ක්‍රිකට් ආයතනය ගත් තීරණයට ස්තූතිවන්ත වන බව ද වනිදු මෙහිදී කියා සිටියා.

නමුත්, කණ්ඩායම පුහුණු වූ ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමේ දී තණතීරුවල ස්වභාවය වෙනස් වූ බවත්, එම වෙනසට හැඩගැසීමට කණ්ඩායමට නොහැකි වූ බවත්, පෙන්වා දුන් හසරංග වැඩිදුරටත් සදහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් නායකයා ලෙස තමන් හා සිය කණ්ඩායම සම්පූර්ණ වගකීම භාර ගන්නා බවයි.

“තරගයක් පරාජය වුණාම තණතීරුවලට හා විවිධ දේවල්වලට අපිට කතන්දර කියන්න පුලුවන්. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් විදිහට මම හිතන්නේ ඒක ඇත්තටම හොද නැති දෙයක්. මොන තණතීරුව තිබුණත් මොකද අනිත් රටේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නෙත් ඒ තණතීරුවේ. ඉතිං අපි හැඩගැහැන්න ඕනෙ. මොකද ඒ වගකීම අපි භාර ගන්න ඕනෙ. ඒකයි අපි රටක් නියෝජනය කරලා මේ වගේ තරගාවලියකට එන්නේ.

“තණතීරුවලටවත් අනිත් දේවල්වලටවත් අපි බ්ලේම් කර කර ඉන්නවට වැඩිය මම හිතන්නේ අපේ ක්‍රිකට් එක අපි තව වැඩිදියුණු කරගෙන තණතීරුවලට අපි හැඩගැහිලා අපි ක්‍රීඩා කරානම් ; මම හිතන්නේ අපි ඒක කරේ නෑ. අපි හැඩගැහුනේ නෑ තණතීරුවලට. ඒක තමයි මෙතන තිබුණ මූලික වැරැද්ද. නැත්තන් අපිට තණතීරුවලට කිසිම දෙයක් කියන්න බැහැ. 

“අපි දැක්ක තණතීරුවෙන් තණතීරුවට, එක එක පැත්තෙන් පැත්තට ගියාම, පළාතෙන් පළාතට ගියාම තණතීරු හැසිරුණේ විවිධ ආකාරයට. මම හිතන්නේ මොන අධ්‍යනය කරත් අපි එදා තරගයට ගිහිල්ලා අපි කරන අධ්‍යනය තමයි වැදගත් වෙන්නේ. කණ්ඩායමක් විදිහට මම හිතන්නේ අපි ඒක කරේ නෑ. ඇත්තටම කණගාටු වෙනවා ඒකට.”

Leave a comment