එංගලන්ත – පාකිස්තාන 20යි 20 තරග හතේ කාලසටහන නිවේදනය කෙරේ

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට අයත් තරග 7කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද(2) නිවේදනය කළා.
සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන තරගාවලිය ඉතිහාසගත වන්නේ වසර 17 කට පසුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ සිදු කරන පළමු තරග සංචාරය ලෙසයි.
පළමු 20යි 20 තරග 4 කරච්චි හී දී ද, අවසන් 20යි 20 තරග 3 ලාහෝර් හී දී ද පැවැත්වීමට නියමිතයි.
මීට පෙර රටවල් දෙකක් අතර 20යි 20 තරග 7 කින් යුත් තරගාවලියක් පවත්වා ඇති අවස්ථාවක් සටහන්ව ඇත්තේ 2019 වසරේ දී මලාවි හා මොසැම්බික් යන රටවල් දෙක අතර පමණයි.
ඔක්තෝබර් දෙවැනිදා පැවැත්වෙන අවසන් 20යි 20 තරගයෙන් පසුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
දෙසැම්බර් මාසයේ දී ටෙස්ට් තරග 3කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එංගලන්තය යළි පාකිස්තානයට පැමිණීමට ද නියමිතයි.
එංගලන්ත කණ්ඩායම 2005 වසරෙන් පසුව පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී නැහැ.
ඔවුන් පසුගිය වසරේ දී පාකිස්තාන සංචාරයක නිරත වීමට සූදානම්ව සිටිය ද පසුව ඔවුන් එය අවලංගු කරනු ලැබුවේ ජෛව ආරක්ෂිත බුබුලු තුළ ක්‍රීඩකයින් දිගින් දිගටම රදවා තැබීමේ ගැටලු හා ආරක්ෂක තත්ත්වය පිළිබද ගැටලු පෙන්වා දෙමින්.
ආරක්ෂක ගැටලු හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයෙන් අවසන් මොහොතේ ඉවත් වීමට ගත් තීරණයෙන් පසුවයි එංගලන්තය එම තීරණය ගනු ලැබුවේ.
Schedule of T20Is :
Tuesday, 20 Sep – 1st T20I, Karachi
Thursday, 22 Sep – 2nd T20I, Karachi
Friday, 23 Sep – 3rd T20I, Karachi
Sunday, 25 Sep – 4th T20I, Karachi
Wednesday, 28 Sep – 5th T20I, Lahore
Friday, 30 Sep – 6th T20I, Lahore
Sunday, 2 Oct – 7th T20I, Lahore