Ultimate magazine theme for WordPress.

එංගලන්ත ක්‍රීඩකයෙකුට ඉන්දීය ගුවන් තොටුපොලකදී අකරතැබ්බයක් – තෙවැනි තරගයත් අවධානමේ

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කළ හැකි දැයි තහවුරු කර ගැනීම සදහා එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටිනවා.

ඒ, ඔහුට ඉන්දියාවේ රැදී සිටීමට සදහා අවශ්‍ය වීසා ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටලුව හේතුවෙන්.

මීට පෙර ඔහුට එක් වරක් ඉන්දියාවට ඇතුළු වීම සදහා අවශ්‍ය වීසා (single-entry visa) ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව තෙවැනි තරගය ආරම්භ වීම සදහා දින 10ක පරතරයක් පවතින බැවින් එංගලන්ත ක්‍රීඩකයින් අබුඩාබි වෙත පිටත්ව ගොස් තිබූ අතර, අනතුරුව යළි ඉන්දියාව වෙත පැමිණීමේ දී රෙහාන් අහ්මඩ් ගැටලු සහගත තත්ත්වයට මුුහුණ දුන්නේ ඔහු සතුව යළි ඉන්දියාවට පැමිණීම සදහා වීසා නොතිබීම හේතුවෙන්.

රාජ්කොට් ගුවන් තොටුපොළේ දී ඔහුට සැලකිය යුතු කාලයක් රැදී සිටීමට ද මෙම වීසා ගැටලුව හේතු වුණා.

අනතුරුව ඉන්දීය බලධාරීන් මෙම ගැටලුවට තාවකාලික විසදුමක් ලබා දෙමින් දින දෙකක කාලයක් සදහා වලංගු වන පරිදි පමණක් 19 හැවිරිදි රෙහාන් අහ්මඩ්ට වීසා ලබා දී තිබුණා.

මීට පෙර එංගලන්ත ක්‍රීඩක ශොයිබ් බෂීර්ට ද මෙම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගැනීම ප්‍රමාද වූ බැවින් ඔහුට පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයින් වනවා.