ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ තණතීරුව ප්‍රමිතියෙන් තොරයි : ICCයෙන් දඩුවම්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් බැංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට වඩා පහළ මට්ටමක පැවැති (below average) බවට ජගත් ක්‍රිකට් කවුන්සලය තීන්දු කර තිබෙනවා.
එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් මේ බව තීරණය කර ඇති අතර, ඒ අනුව ක්‍රීඩාංගනයට එරෙහිව දඩුවම් ලකුණක් ද (demerit point) පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
“තණතීරුව පළමු දිනයේ දී ම විශාල දග කැවීමක් ලබා දුන්නා. සෑම සැසියක් (session) සමගම එය වැඩි දියුණු වුණා. මගේ මතය අනුව එය පිත්ත සහ පන්දුව අතර සමබර තරඟයක් නොවීය” යනුවෙන් ජවගල් ශ්‍රීනාත් අදාළ තරගය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සිය වාර්තාවේ දක්වා තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමට ලකුණු 238 ක ජයග්රහනයක් හිමි කර දුන් මෙම තරගයේ පළමු දිනයේ දී කඩුලු 16ක් බිද වැටුණු අතර, ඉන් කඩුලු 9ක් ම දවා ගත්තේ දග පන්දු යවන්නන් විසින්.
දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දීය පළමු ඉනිම ලකුණු 252කටත්, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109කටත් සීමා වුණා.
තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 447ක ඉලක්කයක් හිමි වූ නමුත්, දිමුත් කරුණාරත්නගේ ශතකයෙන් සවිමත් වෙමින් ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේ දී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් (below average) ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් දඩුවම් ලකුණක් පනවනු ලබනවා.
තණතීරුවක් “දුර්වල” (poor) යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් දඩුවම් ලකුණු 3ක් ද, “නුසුදුසු” (unfit) යැයි තීරණය කළහොත් දඩුවම් ලකුණු 5ක් ද පනවනු ලබනවා.
වසර 5ක කාලයක් සදහා මෙම දඩුවම් ලකුණු වලංගු වනවා.
දඩුවම් ලකුණු ප්‍රමාණය 5 දක්වා හෝ ඊට වඩා වැඩි වන විට අදාළ ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මාස 12කට අත්හිටුවනු ලබනවා.