ඉන්දු – බංග්ලාදේශ ක්‍රීඩකයින් පහකට තරග තහනම්

0 6,788

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්තවය හේතුවෙන් ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් පස් දෙනෙකුට තරග තහනම් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

අවසන් තරගයෙන් පසුව දෙරටේ ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඔවුන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ විනය නීති සංග්‍රහය උල්ලංඝනය කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

අදාළ චෝදනා ක්‍රීඩකයින් පස් දෙනා විසින් පිළිගෙන ඇති බව සදහන්.

මෙලෙස චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතරට බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙකු (Md Towhid Hridoy, Shamim Hossain සහ Rakibul Hasan) හා ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු (Akash Singh සහ Ravi Bishnoi) ඇතුළත්.

ඒ අනුව තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා විසින් අදාළ ක්‍රීඩකයින්ට එරෙහිව දඩුවම් ලකුණු සහ අත්හිටුවීමේ ලකුණු පනවා තිබෙනවා.

බංග්ලාදේශයේ Md Towhid Hridoy ක්‍රීඩකයාට අත්හිටුවීමේ ලකුණු 10ක් පනවා ඇති අතර, එය දඩුවම් ලකුණු 6කට ද සමාන වනවා.

Shamim Hossain ක්‍රීඩකයාට පනවා ඇති අත්හිටුවීමේ ලකුණු ප්‍රමාණය 8ක් වන අතර, එය ද සමාන වන්නේ දඩුවම් ලකුණු 6කටයි.

චෝදනා එල්ල වූ අනෙක් බංග්ලාදේශ ක්‍රීඩකයා වූ Rakibul Hasan ට අත්හිටුවීමේ ලකුණු 4ක් පනවා තිබෙනවා.

එය දඩුවම් ලකුණු 5කට සමාන වනවා.

චෝදනා එල්ල වූ ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් දෙදෙනා වූ Akash Singh ට සහ Ravi Bishnoi ට පිළිවෙලින් අත්හිටුවීමේ ලකුණු 8ක් සහ 5ක් පනවා ඇති අතර, ඒවා පිළිවෙලින් දඩුවම් ලකුණු 6කට 5කට සමානයි.

මීට අමතරව තරගය අතරතුර දී කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් Ravi Bishnoi ට තවත් දඩුවම් ලකුණු 2ක් ද පනවා ඇති බැවින් ඔහුට මෙම තරගයේ දී පැනවුණු දඩුවම් ලකුණු සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ යනු ඇති.

ජගත් ක්‍රිකට් නීති සංග්‍රහයට අනුව එක් අත්හිටුවීමේ ලකුණක් එක්දින හෝ 20යි 20 ජාත්‍යන්තර තරගයකට, යොවුන් තරගයකට හෝ ‘A’ කණ්ඩායම් ජාත්‍යන්තර තරග තහනමකට සමාන වනවා.

එමෙන්ම අදාළ ක්‍රීඩකයින්ට පැනවුණු දඩුවම් ලකුණු වසර දෙකක කාලයක් ඔවුන්ගේ විනය වාර්තාවලට ඇතුළත්ව පවතිනු ඇති.

ALSO READ : අවසන් තරගයෙන් පසු ඉන්දීය – බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්

You might also like

Leave A Reply

Your email address will not be published.