Ultimate magazine theme for WordPress.

ඉන්දු-පාකිස්තාන ප්‍රේක්ෂකයින් රෝහල් ඇදන් වෙන් කර ගැනීමත් අරඹයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 80 කටත් අඩු කාලයක් පමණයි.

තරගාවලියේ තරග කාලසටහන ද මෑතකදී නිවේදනය කෙරුණු අතර, ඒ අනුව තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය නැරඹීම සදහා ලෝකයේ රටවල් රැසකින් ප්‍රේක්ෂකයින් ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරග පැවැත්වෙන දිනවලදී හා ඒ ආසන්න දිනවලදී ක්‍රීඩාංගන අවට හෝටල් කාමරවල මිල ගණන් මේ වන විටත් පවතින අධික ඉල්ලුම හමුවේ ඉහළ අගයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතැම් හෝටල්වල කාමරවල මිල ගණන් 100% කින් පමණ ඉහළ ගොස් ඇති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ තරගය වන්නේ ඔක්තෝබර් 15 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වෙන ඉන්දු – පාකිස්තාන තරගයයි.

එම තරගය පැවැත්වෙන අහ්මදාබාද් ප්‍රදේශයේ හෝටල් කාමරවල මිල ගණන් ද අදාළ දිනවලදී ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක් රාත්‍රියක් සදහා මිල සටහන්ව ඇත්තේ ඉන්දීය රුපියල් 50,000 ක් ලෙසයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දෙකක පමණ අගයක් වනවා.

මේ හේතුවෙන් ප්‍රේක්ෂකයින් මේ වන විට විකල්ප ක්‍රම වෙත අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ප්‍රේක්ෂකයින් හෝටල් කාමර වෙනුවට රෝහල්වල ඇති කාමර වෙන් කරවා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව සදහන්.

එක් රාත්‍රියක් හෝ රාත්‍රී කාල දෙකක් නවාතැන් ගැනීම සදහා ඔවුන් එලෙස රෝහල් කාමර වෙන් කරවා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

පැය 24 ක කාලයක් සදහා දෙදෙනෙකු වෙනුවෙන් (රෝගියාට හා උපස්ථායකයාට) එක් කාමරයක් ඉන්දීය රුපියල් 3,000 සිට 25,000 දක්වා වූ මිල ගණන් යටතේ වෙන් කරවා ගැනීමේ අවස්ථාව පවතිනවා.

රෝහල් කාමරවල නවාතැන් ගන්නා ප්‍රේක්ෂකයින් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් (full-body check-up) සිදු කර ගැනීම වෙනුවෙන් බව පවසමින් එම කාමර වෙන් කරවා ගනිමින් සිටින බව සදහන්.

ඒ අනුව ඉන්දු-පාකිස්තාන තරගය නැරඹීමට අමතරව නවාතැන් ගැනීම වෙනුවෙන් වියදම් කරන මුදලින් ප්‍රේක්ෂකයින්ට වෛද්‍ය පරීක්ෂාවක් ද සිදු කර ගැනීමේ අවස්ථාව මෙහිදී හිමි වීම විශේෂත්වයක්.