ඉන්දු – කොදෙව් තෙවැනි 20යි 20 තරගයේ ආරම්භයත් ප්‍රමාද කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර අද(2) පැවැත්වීමට නියමිත තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ද මිනිත්තු 90 කින් ප්‍රමාද වී ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.
ශාන්ත කිට්ස් හී දී මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ ආරම්භ වූ දෙවැනි 20යි 20 තරගය නියමිත වේලාවට වඩා පැය 3 ක කාලයක් ප්‍රමාද වී ආරම්භ කිරීම හේතුවෙන් ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබා දීමේ අරමුණින් අද තරගය ද ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
පළමු 20යි 20 තරගය පැවැති ට්‍රිනිඩෑඩ් සිට ශාන්ත කිට්ස් වෙත කණ්ඩායම්වල වැදගත් ගමන්මලු රැගෙන යාමට ප්‍රමාද වීම හේතුවෙන් එලෙස දෙවැනි තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද වුණා.
ඒ අනුව මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තෙවැනි 20යි 20 තරගය රාත්‍රී 9.30 ට ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.
අද පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගයෙන් අනතුරුව ලබන 6 වැනිදා හා 7 වැනිදා පැවැත්වීමට නියමිත සිව්වැනි හා 5 වැනි 20යි 20 තරග ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම් දෙක අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙත ගමන් කිරීමට නියමිතයි.
එම තරග දෙකම අමෙරිකාවේ පැවැත්වීම ද මේ වන විට අර්බුදයකට ලක්ව ඇත්තේ කණ්ඩායම් දෙකේම ඇතැම් ක්‍රීඩකයින්ට අමෙරිකානු වීසා මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්.