ධවාන්, අයියර් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා
ඉන්දීය ක්රිකට් කණ්ඩායමට සම්බන්ධ ක්රීඩකයින් ඇතුළු සාමාජිකයින් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලියට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ශිකර් ධවාන්, ෂ්රෙයස් අයියර්, රුටුරාජ් ගයික්වඩ් හා නව්දීප් සයිනි (අතිරේක ක්රීඩක) යන ක්රීඩකයින්ට බවයි ඉන්දීය ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව මයාන්ක් අගාර්වල් එක්දින සංචිතයට කැදවීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
එම ක්රීඩකයින් සිව්දෙනාට අමතරව පන්දු රැකීමේ පුහුණුකරු ටී.දිලිප්, ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරී බී ලෝකේෂ් හා සම්බාහන චිකිත්සක රජීව් කුමාර් යන සාමාජිකයින්ට ද වෛරසය ආසාදනය වී ඇති බවටයි හදුනා ගෙන ඇත්තේ.
මේ වන විට ඉන්දීය කණ්ඩායම එළඹෙන කොදෙව් තරගාවලිය අරමුණු කර ගනිමින් අහ්මදාබාද් හී දී නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් හුදකලා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාව හා කොදෙව්වන් අතර එක්දින තරගාවලිය එළඹෙන 6 වැනිදා අහ්මදාබාද් හී ආරම්භ වීමට නියමිත අතර, එම තරගාවලියෙන් පසුව දෙරට අතර 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.