ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු නිවේදනය කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු ක්‍රීඩක ගෞතම් ගම්භීර් පත් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 27 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වන එක්දින හා විස්සයි 20 තරගාවලියේ සිට ඔහු ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිවේදනය කළේ ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා ගෞතම් ගම්භීර් ඒකමතිකව නිර්දේශ කළ බවයි.
ගම්භීර් නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ අතර, තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ද කොල්කටා කණ්ඩායම සමත් වුණා.
ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ගම්භීර් වසර තුනහමාරක කාලයක්, එනම් 2027 වසරේ දෙසැම්බර් මාසය දක්වා කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධූර කාලය නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වුුණා.
ඩ්‍රාවිඩ් සිය වසර දෙකක පුහුණුකරු ධූර කාලය 2021 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව භාර ගත් අතර, 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, පසුගිය මාසයේ දී පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා එම ධූරයේ කටයුතු කිරීමට පසුව ඔහු එකගතාවයකට එළඹුණා.
එම තරගාවලියේ දී ලෝක ශූරතාවය දිනා ගනිමින් ඩ්‍රාවිඩ් සිය පුහුණුකරු ධූරයට ඉහළ වටිනාකමක් සහිතව සමු දීමට සමත් වීම කැපී පෙනුණා.