ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 28 ක අනර්ඝ ජයක්
Match Report

ටොම් හාර්ට්ලිගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 28 ක තියුණු හා අනර්ඝ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(28) සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට එංගලන්තය පෙරමුණේ පසුවනවා.
තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීමට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202 ක් පමණයි.
ඉන්දීය දෙවැනි ඉනිම ආරම්භ කළ රෝහිත් ෂර්මා ලකුණු 39 කටත්, යශස්වි ජයිස්වාල් ලකුණු 15කටත් දැවී ගිය අතර, ෂුබ්මන් ගිල්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. කේ එල් රාහුල් ලකුණු 22යි. අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි අක්සාර් පටෙල් ලකුණු 17 කට දැවී ගිය අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 13 කට දැවී ගියා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු දෙකක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.
ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 119 දී බිද වැටුණු පසුබිමක 8 වැනි කඩුල්ල සදහා ලකුණු 57 (130) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ බලාපොරොත්තු යළි රැගෙන ඒමට එස්. භාරත් හා ආර්. අශ්වින් සමත් වුණා. ඔවුන් දෙදෙනාම ලකුණු 28 බැගින් ලබා සිටියදීයි දැවී ගියේ.
ඉන්දීය ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 177 දී බිද වැටුණු අතර, එම අවස්ථාව වන විට ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 54 ක් අවශ්‍ය වී තිබුණා.
අවසන් කඩුල්ලට ලකුණු 25 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මොහමඩ් සිරාජ් හා ජස්ප්‍රිට් බුම්රා සමත් වූ නමුත්, සිරාජ් ලකුණු 12 කට දැවී යාමත් සමග තරගයේ ජය එංගලන්තයට හිමි වුණා. බුම්රා නොදැවී ලකුණු හයයි.
පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ටොම් හාර්ට්ලි ලකුණු 62 කට කඩුලු 7 ක් දවා ගත්තා.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 316 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 420 ක් රැස් කළා.
සුපිරි ශතකයක් වාර්තා කළ ඔලී පෝප් ද්විත්ව ශතකයට ලකුණු 4ක් ඉතිරිව තිබියදී ලකුණු 196 දී දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. පන්දු 278 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 21 ක් ඇතුළත්.
බෙන් ඩකට් ලකුණු 47කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 31 කටත් දැවී ගියා. බෙන් ෆෝක්ස් හා ටොම් හාර්ට්ලි ලකුණු 34 බැගින් රැස් කළ අතර, රෙහාන් අහ්මඩ් ලකුණු 28 යි.
ෆෝක්ස් හා පෝප් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 112 (183) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 163 ක් තුළ බිද වැටුණු පසුබිමකයි. පෝප් හා රෙහාන් අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 64 ක සම්බන්ධතාවයක් ද, පෝප් හා හාර්ට්ලි අතර 8 වැනි කඩුල්ල සදහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.
පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 126 කට කඩුලු 3ක් බිද හෙලුවා. රවීන්ද්‍ර ජඩේජා දවා ගත් කඩුලු ගණන දෙකක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 246 ක් රැස් කළා. නායක බෙන් ස්ටොක්ස් පන්දු 88 කින් ලකුණු 70 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 බැගින් දවා ගත්තා.
පිළිතුරු ලෙස ඉන්දියාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 436 ක්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 87 ක්, කේ එල් රාහුල් ලකුණු 86 ක් හා යශස්වි ජයිස්වාල් ලකුණු 80ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජෝ රූට් ලකුණු 79 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ටොම් හාර්ට්ලි හා රෙහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.