Ultimate magazine theme for WordPress.

ඉන්දියාව දැවැන්ත ප්‍රශ්නයකට ඇද වැටෙයි ; ලෝක කුසලාන කාලසටහන වෙනස් කරන්න පොලීසියෙන් බලපෑම්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ වෙනසක් සිදු වීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, අහ්මදාබාද් හී දී පැවැත්වෙන මෙම තරගයට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන්.

හින්දු උත්සවයක් වන නවරාත්‍රී උත්සවයේ පළමු දිනය ද යෙදී ඇත්තේ ඔක්තෝබර් 15 වැනිදාටයි. ඒ අනුව එදින අදාළ තරගය සදහා ආරක්ෂාව ලබා දීමේ ගැටලුවක් පැන නගින බව එරට පොලීසිය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජගත් ක්‍රිකට් කවුන්සලය ද දැනුවත් කර ඇති බවත්, අදාළ තරගය ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට මේ වන විට අවධානය යොමු කර ඇති බවත් සදහන්.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෙට (27) දිනයේ දී ප්‍රාන්ත ක්‍රිකට් සංගම් සමග සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට නිවේදනය කර ඇති ලෝක කුසලාන කාලසටහනට අනුව ඔක්තෝබර් 14 වැනිදා තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එනම්, එංගලන්ත-ඇෆ්ඝනිස්තාන තරගය හා නවසීලන්ත-බංග්ලාදේශ තරගයයි.

ඉන්දීය කණ්ඩායම ඔක්තෝබර් 8 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවද, 11 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව ද තරග වැදීමට නියමිත අතර, ඉන් අනතුරුවයි 15 වැනිදා පාකිස්තානයට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ. ඔවුන් 19 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

පාකිස්තානය ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔක්තෝබර් 6 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත්, 12 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිවත්, ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඔවුන් ක්‍රීඩා කරන සිව්වැනි තරගය පැවැත්වෙන්නේ 20 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ඒ අනුව ඉන්දු-පාකිස්තාන තරගය ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට තීරණය කළහොත් පාකිස්තානයට හයිදරාබාද්හි පැවැත්වෙන සිය දෙවැනි තරගයේ සිට අහ්මදාබාද් හී දී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගය දක්වා එක් විවේක දිනයක් පමණක් හිමි වනවා. ඉන්දියාව සිය දෙවැනි තරගය දිල්ලි හී දී ක්‍රීඩා කරන අතර, ඔවුන්ට පාකිස්තානයට එරෙහි තරගය දක්වා විවේක දින දෙකක් ලැබෙනු ඇති.

ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන දැඩි ප්‍රමාදයකට ලක්ව පසුගිය මාසයේ දී නිවේදනය කෙරුණු නමුත්, තවමත් තරග නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී නැහැ.

එවැනි පසුබිමක වුවද, ප්‍රේක්ෂකයින් හා අනෙකුත් පාර්ශව ඉන්දු-පාකිස්තාන තරගය වෙනුවෙන් මේ වන විටත් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර හා හෝටල් කාමර වෙන් කරවා ගෙන අවසන්.