Ultimate magazine theme for WordPress.

ඉන්දියාවේ සියලු බලාපොරොත්තු පාකිස්තානයේ කර මතට ; ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

Match Report

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ ඉන්දීය බලාපොරොත්තු මේ වන විට දැඩි අවධානමකට ඇද වැටී තිබෙනවා.

ඒ, තරගාවලියේ 18 වැනි තරගයෙන් ඔවුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 9කින් පරාජයට පත් වීමත් සමගයි.

මූලික වටයේ තරග හතරම ජය ගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වන්නේ හෙට(14) පැවැත්වෙන නවසීලන්ත – පාකිස්තාන තරගයේ ප්‍රතිපලය අනුවයි.

ඉන්දියාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන නමුත්, ඔවුන් තරග හතරෙන් ජය ගත්තේ තරග දෙකක් පමණයි.

හෙට තරගයෙන් නවසීලන්තය ජයගතහොත් නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, පාකිස්තානය ජය ගතහොත් ශුද්ධ ලකුණු වේගය අතින් ඉදිරියෙන් පසුවන රට (ඉන්දියාව හෝ පාකිස්තානය) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

නවසීලන්තයේ ශුද්ධ ලකුණු වේගය මේ වන විටත් ඉන්දියාවට වඩා අවම මට්ටමක පවතින බැවින් හෙට තරගය ඔවුන් පරාජයට පත්වුවහොත් නවසීලන්තයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 151 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

හර්මන්ප්‍රීට් කොවුර් නොදැවී ලකුණු 54(47) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් මොහොත දක්වා දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. දීප්ති ෂර්මා ලකුණු 29 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Annabel Sutherland හා Sophie Molineux කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ලකුණු 40(41) ක් ලබා ගත් Grace Harris. Tahlia McGrath හා Ellyse Perry ලකුණු 32 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී රේනුකා සිං ලකුණු 24 කට කඩුලු 2 ක් හා දීප්ති ෂර්මා ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Leave A Reply

Your email address will not be published.