Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයේ දින වෙනසක්, ඉන්දියාව හා පාකිස්තානය මහනුවර දී ගැටෙයි ; යෝජිත කාලසටහන මෙන්න

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 30 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මීට පෙර තරගාවලිය අගෝස්තු 31 වෙනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබූ නමුත් එක් දිනකට පෙර තරගාවලිය ආරම්භ කිරීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

තරගාවලියේ සමාරම්භක තරගය මුල්තාන්හී දී සත්කාරක පාකිස්ථානය සහ නේපාලය අතර පැවැත්වීමට නියමිත බව සඳහන්.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තරගය වන පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් තරග කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, ඊට පෙර එහි තවත් සංශෝදන කිහිපයක් සිදු වීමට ද ඉඩ පවතිනවා.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ක්‍රීඩා කරන තරගාවලියට තරග 13 ක් ඇතුළත්.

තරගාවලියේ පළමු තරගය පමණක් මුල්තාන් හී දී පැවැත්වීමට නියමිත අතර, මූලික වටයේ තරග 3ක් හා සුපිරි 4 වටයේ තරගයක් ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි. පාකිස්තානය, ඉන්දියාව හා නේපාලය A කාණ්ඩයෙන් ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය B කාණ්ඩයෙන් ද තරග වැදීමට නියමිතව තිබෙනවා. එක් එක් කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, සුපිරි 4 වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්ථානය අතර මූලික වටයේ තරගය සැප්තැම්බර් 3 වැනිදා ලාහෝර් හී දී ද, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තරගය සැප්තැම්බර් 5 වැනිදා එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ ඒ කණ්ඩායම් මූලික වටයේ දී කුමන ස්ථානයක් හිමි කර ගත්ත ද, පාකිස්තානය A1 ලෙසත්, ඉන්දියාව A2 ලෙසත් සුපිරි 6 වටයේ දී සැලකීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව B1 ලෙසත්, බංග්ලාදේශය B2 ලෙසත් සලකනු ඇති.

එමෙන්ම උදාහරණයක් ලෙස පාකිස්ථානය වෙනුවට A කාණ්ඩයෙන් නේපාලය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගතහොත් නේපාලය A1 කණ්ඩායම ලෙස හැදින්වීමට නියමිතයි. එනම් සුපිරි 4 වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම වෙනුවටයි සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම ආදේශ කිරීම සිදු වන්නේ.

සුපිරි හතර වටය යටතේ පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත එකම තරගය වන්නේ A1 හා B2 අතර තරගයයි.

ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම සුපිරි හතර වටයට සුදුසුකම් ලබා ගතහොත් එම කණ්ඩායම් දෙක සැප්තැම්බර් 10 වැනිදා මහනුවරදී යළි තරග වැදීමට නියමිතයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීම හේතුවෙනුයි මෙලෙස පාකිස්තානයට සත්කාරක අයිතිය හිමි මෙවර ආසියානු කුසලාන තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිදුව ඇත්තේ.