ආසියානු කුසලානයට සුදුසුකම් ලබන්න අද සිට කණ්ඩායම් 4ක් තරග බිමේ

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම තේරීම සදහා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඕමානයේ දී අද (20) ආරම්භ වනවා.
එම තරගාවලිය අද සිට එළඹෙන 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ හොංකොං හා සිංගප්පූරුව අතරයි.
ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් මේ වන විටත් ලබන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා අවසන්.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරක අයිතියට යටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාව ඊයේ (19) ඩුබායිහිදී සිදු කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් ආයතනයේ සභාපති ෂෙයික් නායන් බින් මුබාරක්ගේ ප්‍රධානත්වයෙන්.
