Ultimate magazine theme for WordPress.

අසාර්ථක ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ලැබෙන අභියෝගාත්මක තරගාවලි ලැයිස්තුව මෙන්න

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද(17) සිය අවසන් තරගයට ක්‍රීඩා කළා. එම තරගයෙන් ඔවුන් ලකුණු 83 ක ජයක් වාර්තා කළ නමුත්, සුපිරි අට වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකාව 2014 වසරෙන් පසුව කිසිදු අයි.සී.සී තරගාවලියක අවසන් පූර්ව තරගයක් සදහා ක්‍රීඩා කිරීමට අපොහොසත් වී ඇති පසුබිමකයි මෙවර තරගාවලියෙන් ද මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණේ.

ශ්‍රී ලංකාවේ තවත් ලෝක කුසලාන බලපොරොත්තුවක් මෙලෙස බොද වී යද්දී දිගින් දිගටම සිදු වන පිතිකරණයේ දුර්වලතාවයට නිසි පිළියමක් සොයා ගැනීමට නොහැකි වී තිබීම අවාසනාවට කරුණක්.

එවැනි පසුබිමක් යටතේ මෙම වසරේ දී ශ්‍රී ලංකාවට තවත් අභියෝගාත්මක තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියන්හී දී ඇතැම් විට තවත් නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙමින් 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා යෝග්‍ය කණ්ඩායමක් සකස් කර ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමු වනු ඇති.

2023 වසරේ සිට 2027 වසර දක්වා වන ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනට (Men’s Future Tour Program) (FTP) අනුව ඉදිරි මාස කිහිපයේ දී ශ්‍රී ලංකාව ප්‍රබල රටවල් රැසක් සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට පෙර ජූලි මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉදිරි කාලසටහන –

  • ඉන්දියාවට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 ජූලි)
  • එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ටෙස්ට් තරග 3ක් (2024 අගෝස්තු 21 සිට සැප්තැම්බර් 10)
  • නවසීලන්තයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2024 සැප්තැම්බර් / ඔක්තෝබර්)
  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 ඔක්තෝබර්)
  • නවසීලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 නොවැම්බර්)
  • දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග 2ක් (2024 නොවැම්බර්/දෙසැම්බර්)
  • නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 දෙසැම්බර්/2025 ජනවාරි)
  • ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2025 ජනවාරි/පෙබරවාරි)
Leave a comment