Ultimate magazine theme for WordPress.

අවේෂ් හා අක්සාර්ගේ සුපිරි පන්දු යැවීම හා අයියර්ගේ සටන්කාමී ඉනිම දිල්ලියට ජය ගෙනෙයි

Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීම සදහා පවතින තරගය තවදුරටත් තීව්‍ර කරමින් තරගාවලියේ 46 වන තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත්වීමත් සමග මෙවර තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක සදහා ද මේ වන විට නිර්මාණය වී ඇත්තේ දැඩි තරගයක්.

සාජාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

  • MI 129/8 (20)

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට දිල්ලි පන්දු යවන්නන් සමත් වුණා. එහි ප්‍රතිපලය වූයේ මුම්බායි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 129කට සීමා වීමයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සූර්යකුමාර් යාදෙව්. ඔහු ලකුණු 33(26)ක් රැස් කළ අතර, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 19ක් ද, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 17ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අවේෂ් ඛාන් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 15ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. අක්සාර් පටෙල් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.

  • DC 132/6 (19.1)

දිල්ලි කණ්ඩායම පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසිය ද ඔවුන්ට එය අසීරු ඉලක්කයක් බවට පත් කිරීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණේ දිල්ලි මුල්පෙල බිද දමිමින්.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 30ක් වන විට බිද වැටුණේ තරගයේ ජය දෙපිලටම දෝලනය කරමින්. ශිකර් ධවාන් ලකුණු 8කටත්, ප්‍රිත්වි ශෝ ලකුණු 6කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 9කටත් දැවී ගියා.

නායක රිෂාබ් පාන්ට් ලකුණු 26(22)ක් රැස් කරමින් බිද වැටෙමින් තිබූ ඉනිමට යම් ශක්තියක් එක් කළා. අක්සාර් පටෙල් ලකුණු 9ක් ලබා ගනිද්දී ශිම්රන් හෙට්මයර් ලකුණු 15(8)ක් රැස් කළා.

දිල්ලි ඉනිමේ 6 වන කඩුල්ල ලකුණු 93ක්ව තිබියදී බිද වැටුණේ තරගය තවදුරටත් දෙපිලටම විවෘත කරමින්. කෙසේ වෙතත්, පසුව 7 වන කඩුල්ලට නොබිදුණු සබදතාවයක් ගොඩ නැගූ ෂ්රෙයස් අයියර් හා රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ ජය දිල්ලියට හිමි කර දුන්නා. මනා සංයමයකින් යුතුව ඉනිම ගොඩ නැගූ අයියර් නොදැවී ලකුණු 33(33)ක් රැස් කළ අතර, අශ්වින් නොදැවී ලකුණු 20(21)ක් ලබා ගත්තා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 18ක් හිමි කර ගනිමින් දිල්ලි කැපිටලස් කණ්ඩායම තවදුරටත් දෙවැනි ස්ථානයේ පසුවන අතර, පෙරමුණේ පසුවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ද හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18ක්.

Leave a comment