Ultimate magazine theme for WordPress.

අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරින් බැංගලෝර් පිලට තියුණු ජයක්

Match Report

ශ්‍රිකර් භාරත්ගේ සුපිරි පිතිහරඹය හා ඔහු තරගයේ අවසන් පන්දුවට එල්ල කළ හයේ පහර හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන්, එනම් 56 වන තරගයෙන් අවසන් පන්දුවේ දී තියුණු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(8) සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දුන් දිල්ලි පිල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කළා. දිල්ලි පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් ශිකර් ධවාන් හා ප්‍රිත්වි ෂෝ පළමු කඩුල්ලට ලකුණු 88ක් එක් කළා. ධවාන් ලකුණු 43(35)කටත්, ප්‍රිත්වි ලකුණු 48(31)කටත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව දිල්ලි කණ්ඩයමේ මැදපෙල පිතිකරුවන්ගෙන් වේගවත් පිතිහරඹයක් දැක ගත හැකි වූයේ නැහැ.

රිෂාබ් පාන්ට් ලකුණු 10(8)කට දැවී ගියා. ෂ්රෙයස් අයියර් ලබා ගත්තේ ලකුණු 18(18)ක් පමණයි. ශිම්රන් හෙට්මයර් පන්දු 22කින් ලකුණු 29ක් වාර්තා කරමින් දිල්ලි ඉනිම ලකුණු 164ක් දක්වා රැගෙන යාමට දායකත්වය දක්වනු ලැබුවා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් බිද හෙලූ අතර, යුස්වේන්ද්‍ර චහෙල්, හර්ෂාල් පටෙල් හා ඩෑන් ක්‍රිස්ටියන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය තමන් සතු කර ගත්තා.

ඔවුන්ගේ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිල්ලි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු 6ක්ව තිබියදී ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නරඹන්නන් බවට පත් වුණා. නායක විරාට් කෝලි ලකුණු 4කටත්, දෙව්දත් පඩික්කල් ලකුණු බින්දුවකටත් දැවී ගියා.

ඒ.බී. ඩි විලියස් ලකුණු 26යි. ශ්‍රිකර් භාරත් පන්දු 52කින් නොදැවී ලකුණු 78ක් රැස් කළා. හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මෙවර තරග වාරයේ සිය 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. පන්දු 33කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්.

අවේශ් ඛාන් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයට තරගය ජය ගැනීම සදහා බැංගලෝර් කණ්ඩායමට ලකුණු 15ක් ලබා ගත යුතු වුණා. අවසන් පන්දුවට ඔවුන් ලබා ගත යුතු වූ ලකුණු ප්‍රමාණය 6ක්. කෙසේ වෙතත්, එම පන්දුව වයිඩ් පන්දුවක් යොමු කිරීම නිසා අවසන් පන්දුවට ලකුණු 5ක් ලබා ගැනීමටයි බැංගලෝර් කණ්ඩායමට අවශ්‍ය වුණේ.

අනතුරුව තණතීරුවේ පතිත නොවී කෙළින්ම පිත්තට ආ අවසන් පන්දුවට ලෝන්ග් ඕන් කලාපයෙන් හයේ පහරක් එල්ල කිරීමට භාරත් සමත් වුණේ මෙම තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට සුපිරි ජයක් හිමි කර දෙමින්.

පන්දු යැවීමේ අන්රිච් නොකියා කඩුලු 2ක් හා අක්සාර් පටෙල් එක් කඩුල්ලක් දවා ගත්තා.

ප්‍රසාද ලකුණු සටහන – (මුම්බායි – හයිදරාබාද් තරගය අවසන් වීමට පෙර)

BCCI