Ultimate magazine theme for WordPress.

අයි.සී.සීයට පැමිණිලි කළ ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රබල පිළිතුරක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදුව ඇති බව සදහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යත්තර ක්‍රිකට් කවුන්සලය වෙත සිදු කර ඇති පැමිණිලි කිරීමකට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වෙත සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම්කිසි දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් පවතින්නේනම් පළමුව අදාළ අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීම සිදු කළ යුතුව ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ වූ සිදු වීමකට මෙරට නීති රීති අනුව නීත්‍යානුකූලව ක්‍රියා කරනවා හැර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට අදාළ පැමිණිල්ලේ කිසිඳු කරුණකට එරෙහිව ක්‍රියාකිරීමට නෛතික බලයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙනවා.

ඉදිරියේදී, මෙවැනි මතභේදාත්මක ගැටලු සම්බන්ධව පළමුව අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු ක්‍රීඩා බලධාරීන් සමඟ සාකච්ඡා කර පවතින ගැටලුකාරී තත්වයන් කලමනාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, රටේත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ක්‍රිකට් ක්‍රීඩාවෙත් ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරිමට පියවර ගන්නා ලෙසත් මෙම ලිපිය ඔස්සේ ක්‍රීඩා අමාත්‍යංශය සිහිපත් කර තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින් –

මොහාන් ද සිල්වා මහතා
ලේකම්
ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලන මැදිහත්වීම ගැන ICCයේ අවධානය

උක්ත ශීර්ෂයෙන් යොමු අංක MOYS/DEV/SP/SLSC/65 දරණ 2022-11-30 දිනැති ලිපිය හා බැඳේ.

ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් එවන ලද පිළිතුරු ලිපිය ලද බව ස්තූතිපූර්වකව දන්වා සිටිමි.

(අ) එම ලිපියේ ඔබ විසින් දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර ජාත්‍යත්තර ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇත.

1. දේශපාලන මුහුණුවරකින් යුක්තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් පදනම් විරහිතව සිදුකරනු ලැබූ විවිධ චෝදනා සහ ප්‍රකාශයන්

• මහජන නියෝජිතයින් වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 1 වන කොටස 3 වන වගන්තිය “පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු වලට නිරතවීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරතවීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේය”. ඔබ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට කරන ලද පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නීත්‍යානූකූල වරප්‍රසාද බරපතල ලෙසට උල්ලංඝණය කිරීමක් සිදුවී ඇති බව පෙනී යයි.

2. නිළවරණයක් තුළින් පත්වී කටයුතු කරන ක්‍රිකට් ආයතනයේ පරිපාලකයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම් විරහිතව සිදු කරනු ලබන ද්වේෂ සහගත ප්‍රකාශ.

• ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් යටතේ 14.1(අ) වගන්තිය, “සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය”. එවැනි අවස්ථාවකදී එම ප්‍රකාශයන්ට විරුද්ධව අගතියට පත්වූ පාර්ශවයට අධිකරණමය ක්‍රීයාමාර්ගයකට යොමු විය හැක. එනමුත්, ඔබ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට පැමිණිලි කිරීමෙන් ඔවුනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත වගන්තිය ඔබ විසින් අභියෝගයට ලක්කර ඇති බව පෙනී යයි.

3. ක්‍රීඩා පනත යටතේ ඇතිකර ඇති විවිධ තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට තරඟකොට පරාජය වූ සහ එම හේතුව මත බැඳියාවන් අතර ගැටුමක් ඇති අර්ජුන රණතුංග මහතා වැනි පුද්ගලයින් දේශපාලනික වශයෙන් පත්කිරීම.

• අර්ජුන රණතුංග මහතා ලංකාවේ කිසිඳු දේශපාලනික පක්ෂයක තනතුරක් හොබවන්නේ නැති බව අවධාරණය කරමි. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 31(11) වගන්තිය සහ 4(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එතුමාගේ අභිමතය පරිදි නීත්‍යානුකූලව ඕනෑම අයෙකු ක්‍රීඩා සභාවට පත් කිරීම ගරු ඇමතිතුමාගේ අයිතියකි. ගරු අමාත්‍යතුමාගේ නීත්‍යානුකූල අයිතියට එරෙහිව අභියෝග කිරීමට ඔබට කිසිඳු නීත්‍යානූකූල බලයක් නොමැත .

4. අනිකුත් සියලු ආකාරයේ මැදිහත්වීම්.

• මෙම කාරණය ඔබ විසින් පැහැදිළි කර දිය යුතුව ඇත.

ජනතාවට යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමටත්, අදාළ බලධාරීන්ට තොරතුරු දැනුම් දීමටත්, පැමිණිලි කිරීමටත් අයිතියක් ඇත. එවැනි පැමිණිලි හෝ තොරතුරු ලද විට විෂයට අදාළ කරුණක් නම් අප අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටින බවද, මෙයින් මතක් කර දීමට කැමැත්තෙමි. එමෙන්ම ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ පවත්නා නීති යටතේ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල අනුව ක්‍රියා කරනවා හැර වෙනත් කිසිඳු දේශපාලන මැදිහත්වීමක් අප විසින් සිදුකර ඇත්නම් මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

(ආ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් යම්කිසි දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුකාරී තත්වයක් ඇතිවී ඇත්නම්, පළමුව කළයුතුව ඇත්තේ අදාළ අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීමයි.

අමාත්‍යවරයාගෙන්ද ඔබට සහනයක් නොලැබිණි නම්, ගරු ජනාධිපතිතුමාට පැමිණිලි කිරීමට හැකියාවක් තිබිණි. එසේත් නොමැතිනම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමට ඔබට අවස්ථාව තිබිණි. ශ්‍රී ලංකාව තුළ සිදුවුනු සිදුවීමකට මෙරට නීති රීති අනුව නීත්‍යානුකූලව ක්‍රියා කරනවා හැර, ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ඔබ සඳහන් කර ඇති පැමිණිල්ලේ කිසිඳු කරුණකට එරෙහිව ක්‍රියාකිරීමට එම ආයතනයට නෛතික බලයක් නොමැති බව සඳහන් කරමි.

ඉදිරියේදී, මෙවැනි මතභේදාත්මක ගැටලු සම්බන්ධව ප්‍රථමයෙන් ගරු අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු ක්‍රීඩා බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතිවන ගැටලු කාරී තත්වයන් කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් රටේත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ක්‍රිකට් ක්‍රීඩාවෙත් ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරිමට පියවර ගන්නා මෙන් කාරුණිකව දන්වමි.

වෛද්‍ය අමල් හර්ෂද සිල්වා
ලේකම්
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

පිටපත් – (1) ගරු ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය, රොෂාන් රණසිංහ මැතිතුමා –
(දැ.ගැ.ස)
(2) ජනාධිපති ලේකම් – ( ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා)
(3) සභානායක කාර්යාලය (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව) – සියලුම ගරු පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්ගේ කාරුණික දැන ගැනීම සඳහා