Ultimate magazine theme for WordPress.

“අපි මුළු රටම පහතට ඇද දැම්මා” මැතිව්ස් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

“අපි අපිටම සාධාරණයක් ඉටුකරගෙන නැහැ. විශේෂයෙන්ම අපි පළමු තරග දෙකේ ක්‍රීඩා කළ ආකාරය. ඉතිං එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. අපි හදවතින් කම්පා වෙනවා. අපිට ගොඩක් රිදෙනවා.”

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් සිය කණ්ඩායම වෙනුවෙන් තමන් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව මෙරට වේලාවෙන් හෙට(17) පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මැතිව්ස් මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකාව 2014 වසරෙන් පසුව මෙතෙක් පැවැති කිසිදු අයි.සී.සී තරගාවලියක අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නැහැ.

මෙවර තරගාවලියේ දී ද ක්‍රීඩා කළ පළමු තරග දෙකම දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වූ ශ්‍රී ලංකාවට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වූ අතර, නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමුණා.

ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දී ප්‍රවාහන ගැටලු රැසකට ද මුහුණ දීමට සිදු වූ අතර, මෙම තරගාවලියේ මූලික වටයේ තරග 4 ක්‍රීඩාංගන 4කදී ක්‍රීඩා කිරීමට සිදු වූ කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් වන්නේ ශ්‍රී ලංකාවයි. හෙට තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන නෙදර්ලන්තයට ද ක්‍රීඩාංගන 4කදී මූලික වටයේ තරග ක්‍රීඩා කිරීමට සිදු වුණා.

“අපි මුළු රටම පහතට ඇද දැම්මා. ඇත්තටම අපිට කණගාටුයි මොකද අපි අපිවම පහතට ඇද දමා ගත්ත නිසා. අපි කවදාවත් මේක බලාපොරොත්තු වුණේ නැහැ.” යනුවෙන් මැතිව්ස් කියා සිටියා.

“අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. නමුත්, ඒවා කණගාටු විය යුතු දේවල් නෙවෙයි. අපි දෙවැනි වටයට සුදුසුකම් නොලැබීම කනගාටුදායකයි.”

ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලියෙන් ඉවත්ව ඇතත්, නෙදර්ලන්තය තවදුරටත් සුපිරි 8 වටයට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

නෙදර්ලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමටනම් ශ්‍රී ලංකාව පරදා දැවැන්ත ජයක් වාර්තා කළ යුතු අතර, බංග්ලාදේශය ද නේපාලය හමුවේ දැවැන්ත පරාජයක් ලැබිය යුතු වනවා.

“අපිට කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්න බැහැ. අපි දැක්කා ඊයේ නේපාලයත් දකුණු අප්‍රිකාව පරාජය කරන්න ඉතා ආසන්න වුණා. අපේ නේපාල තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වීම අවාසනාවක්. නමුත් එය එහෙම තමයි. තරගාවලියේ අපිට ඇත්තේ තවත් එක් තරගයක් පමණයි. අපි අපේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.”

“අපි අපිටම සාධාරණයක් ඉටුකරගෙන නැහැ. විශේෂයෙන්ම අපි පළමු තරග දෙකේ ක්‍රීඩා කළ ආකාරය. ඉතිං එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. අපි හදවතින් කම්පා වෙනවා. අපිට ගොඩක් රිදෙනවා.”

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පැමිණීමට පෙර ඔවුන් අඛණ්ඩව විස්සයි 20 තරගාවලි තුනක් ජය ගෙන තිබුණා.

“ඒක අපි කනගාටු වෙන දෙයක්, මොකද අපි ඇෆ්ගනිස්තානයට, සිම්බාබ්වේ කණ්ඩායමට සහ බංගලාදේශයේ දී බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කරපු විදිහත් එක්ක, මම හිතනවා මේ තරගාවලියේදී අපි අපේ හැකියාවන්ට සාධාරණයක් කළේ නැහැ කියලා.”

මේ වන විට 37 වන වියේ පසුවන මැතිව්ස් මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සදහන් කර සිටියේ සිය සුදු පන්දු ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව ඇතැම් විට ඔහු 2026 වසරේ දී ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට ඉඩක් පවතිනවා සේම, නෙදර්ලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගය ඔහු ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගය වීමට ද ඉඩ තිබෙනවා.

“මම හැම තරගයක්ම ක්‍රීඩා කරන්නේ මගේ අවසන් තරගය වගේ” මැතිව්ස් සදහන් කළා. “ජීවිතයේ කිසිවක් නිශ්චිත නැහැ.මම කණ්ඩායම වෙනුවෙන් මට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට උත්සාහ කරනවා. ඊළඟ තරගය ගැන හෝ ඊළඟ තරගාවලිය ගැන මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඒ හැම දේ ගැනම හිතලා තීරණයක් ගන්න මට ටික කාලයක් තියෙනවා. මගේ පැත්තෙන් මම කිසිම දෙයකට ස්ථාවර වෙලා නැහැ. මගේ අදහසට වඩා අවශ්‍ය වන්නේ තේරීම් කමිටුවේ අදහසයි. ජාතික කණ්ඩායමට හෝ මගේ ක්‍රීඩා සමාජයට හෝ වේවා, මම ක්‍රීඩා කරන්නේ ක්‍රීඩාවට තියෙන ආදරය නිසයි.”

Leave a comment