Ultimate magazine theme for WordPress.

අනපේක්ෂිතව එල්ල වූ කමින්ස්ගේ වාර්තාගත 56(15)* හමුවේ මුම්බායි 3 වැනි තරගයත් පරදියි

Match Report

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පන්දු 15කින් වාර්තා කළ අනපේක්ෂිත වේගවත් නොදැවුණු ලකුණු 56 හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් තෙවැනි තරගයෙන් ද පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(6) සිදු වුණා.

තරගාවලියේ 14 වැනි තරගයෙන් කොල්කටා කණ්ඩායම හමුවේ මුම්බායි පිල මෙලෙස පරාජයට පත් වූයේ කඩුලු 5කින්.

පූනේ හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවාර 4ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 50(41)ක් රැස් කළ නමුත්, සෙසු නම් දැරූ පිතිකරුවන්ගෙන් ලකුණු හඹා යාමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ඇන්ඩ්‍රි රසල් මුළු ලකුණු සංඛ්‍යාව 101ක් ලෙස තිබියදී දැවී ගියේ පන්දුවාර 13.1ක් අවසන්ව තිබියදීයි.

එම අවස්ථාවේ දී පන්දු 41ක් තුළ ලකුණු 61ක් ජයග්‍රහනය සදහා ලබා ගැනීමට කොල්කටා කණ්ඩායමට අවශ්‍ය වූ අතර, තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු මුම්බායි පිලට දෝලනය වී තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව පිටියට පිවිසි පැට් කමින්ස් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් දියත් කළේ ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවන තරග අවසානයක් ලබා දෙමින්.

ඔහු අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කළේ පන්දු 14කින් සිය අර්ධ ශතකය ලබා ගනිමින්.

පන්දු 15කින් ලකුණු 56ක් නොදැවී රැස් කළ කමින්ස්ගේ ඉනිම හයේ පහර 6කින් හා හතරේ පහර 4කින් වර්ණවත් වුණා.

ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී ඩැනියල් සෑම්ස්ට එරෙහිව පැට් කමින්ස් ලකුණු 35ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ටිමාල් මිල්ස් හා මුරුගන් අශ්වින් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා පිලේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 161ක් ලබා ගත්තේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

රෝහිට් ෂර්මා ලකුණු 3කටත්, ඉෂාන් කිෂන් ලකුණු 14කටත්, සිය මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ ඩිවෝල්ඩ් බ්‍රේවිස් ලකුණු 29කටත් දැවී ගියා.

මන්දගාමීව ඉදිරියට ඇදෙමින් තිබූ මුම්බායි ඉනිම වේගවත් අවසානයක් කරා රැගෙන යාමට සූර්යකුමාර් යාදෙව්, තිලක් වර්මා හා කයිරන් පොලාඩ් සමත් වුණා.

ආබාධයක් හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය සදහා ක්‍රීඩා නොකළ සූර්යකුමාර් අද තරගයේ දී මුම්බායි ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් පන්දු 36කින් ලකුණු 52ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

තිලක් වර්මා නොදැවී ලකුණු 38(27)ක් හා පොලාඩ් පන්දු 5කින් නොදැවී ලකුණු 22ක් රැස් කළා. පොලාඩ්ගේ ඉනිමට හයේ පහර 3ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 49කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයෙන් ලැබූ ජයත් සමගින් මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ක්‍රීඩා කළ තරග 4න් තරග 3ක් ජය ගනිමින්.

Leave a comment