Ultimate magazine theme for WordPress.

“අද හැදෙයි හෙට හැදෙයි කියලා අවස්ථාව දුන්න, දැන්වත් හරි තීරණ ගත යුතුයි” : හෂාන්

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් හැරුණු විට තවත් දක්ෂ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පවසනවා.

එබැවින් විනය විරෝධීව හැසිරෙන ක්‍රීඩකයින්ට එරෙහිව නිසි දඩුවම් ලබා දිය යුතු බවයි ඔහු සදහන් කර සිටියේ.

අද දෙරණ නාලිකාවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තිලකරත්න මහතා මේ බව කියා සිටියා.

ඒ, දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් සිටින බැවින් විනය කඩ කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබියදීත් එම ක්‍රීඩකයන්ට දිගින් දිගටම අවස්ථාව ලබා දීමට සිදු වන බවට පවතින මතය සම්බන්ධයෙන් යොමු කෙරුණු පැනයකට පිළිතුරු දෙමින්.

“මම හිතන්නෙ නෑ එහෙම දෙයක්. දැන් සෑහෙන කාලයක් ඒ ගොල්ලන්ට අවස්ථාව ලබා දුන්නා හුගක් දඩුවම්වලින් තොරව. ඒ ගොල්ලො අද හැදෙයි, හෙට හැදෙයි, අනිද්දට හැදෙයි කියලා අපි හිතුවා. නමුත් අපිට තේරුනා එහෙම වෙන එකක් නෑ කියලා.” යනුවෙන් හෂාන් තිලකරත්න මහතා පැවසුවා.

“මම හිතන්නේ දැන් හොඳම අවස්ථාවක්. ඇත්තටම දක්ෂ ක්‍රීඩකයන් මෙතනින් එහාට ඉන්නවා. අපි දැකලා තියෙනවා ක්ලබ් ක්‍රිකට් වල හොඳ ක්‍රීඩකයො ඉන්නවා. ඒ ගොල්ලොත් එක්ක පොඩි ෆයින් ටියුන් කිරිල්ලක් කරන්න තියෙන්නේ. මේ වගේ අවස්ථාවක දැන්වත් අපි හරි තීන්දු තීරණ අරගත්තේ නැත්නම් ඉස්සරහට එන ක්‍රීඩකයන්ටත් මේක ලොකු අසාධාරණයක් වේවි.”

මෙම වැඩසටහන සදහා ප්‍රවීන වේග පන්දු පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා ද සහභාගී වුණා.

Leave a comment