Ultimate magazine theme for WordPress.

අතුරු කමිටුව ඉවත් කරන්නැයි ජනපති මට කිව්වා – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කෙරුණු අතුරු කමිටුව ඉවත් කරන්නැයි තමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(6) දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

එසේ නොවන්නේනම් ක්‍රීඩා නීතිය තමා යටතට පත් කර ගන්නා බවට ජනාධිපතිවරයා පැවසූ බවයි අද(7) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේ වෙතත්, තමාව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ද, තමා අතුරු කමිටුව ඉවත් කර නොගන්නා බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා කියා සිටියා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ. (දර්ශන පහතින්)

මේ අතර, පත් කෙරුණු අතුරු කමිටුව සහ එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද අද නිකුත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.