ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයා අවසන් තරගයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අරමුණු කර ගනිමින් ඉන්දීය සංචිතය සමග දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් එක්වී තිබෙනවා.
දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් මුහුණ දී සිටින ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු වෙනුවට ඉන්දීය සංචිතය සදහා වොෂින්ටන් සුන්දර් ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව විසින් පියවර ගෙන ඇත්තේ.
බංග්ලාදේශය සමග ඊයේ(15) පැවැති සුපිරි 4 වටයේ තරගයේ දී පටෙල්ගේ අතක පන්දුවක් වැදීමෙන් ආබාධයක් සිදු වූ අතර, වම් පාදයේ ද ආබාධයකට ඔහු ලක් වුණා.
ඒ අනුව ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට අවසන් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වන බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.
වොෂින්ටන් සුන්දර් අද පස්වරුවේ දී කොළඹට ළගා වූ බවත්, අනතුරුව ඔහු මේ වන විට කණ්ඩායම සමග එක්ව සිටින බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.
පාකිස්තානය සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට ද අවසන් තරගය අහිමි වුණා.
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට (17) පස්වරු 3 ට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
India’s squad for Asia Cup final against Sri Lanka:
Rohit Sharma (C), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Suryakumar Yadav, Tilak Varma, KL Rahul (wicket-keeper), Ishan Kishan (wicket-keeper), Hardik Pandya (VC), Ravindra Jadeja, Shardul Thakur, Kuldeep Yadav, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj, Prasidh Krishna, Washington Sundar