Ultimate magazine theme for WordPress.

SLPL තරගාවලීයේ ඉනිමක ඉහළම ලකුණු රැස් කළ පිතිකරුවන් 10 දෙනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නවතම ආශ්වාදයක් එක්කරමින් ප්‍රථම වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන අවසන් දින මේ වන විට උදා වෙමින් පවතිනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය ප්‍රමුඛ පෙලේ විදෙස් ක්‍රීඩකයන්ද සහභාගී කරගනිමින් මෙරටදී පැවැත්වෙන දෙවන ලීග් ක්‍රිකට් තරගාවලිය බව විශේෂයෙන් සදහන් කළ යුතු නොවේ.

මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් යන නමින් ද තරගාවලියක් පැවැත්වුණත් එය අඛන්ඩව පවත්වාගෙන යාමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

එල්.පී.එල් උණුසුම තව තවත් තීවෘ වී ඇති මේ මොහොමේ 2012 වසරේ පැවති SLPL තරගාවලියේදී ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් දහදෙනා පිළිබඳව ඔබගේ මතකය ආවර්ජනය කිරීමට Hitwicket.lk අපි තීරණය කළා.

එම පිතිකරුවන් දහ දෙනා පහතින් –

10. චාමර කපුගෙදර

SLPL තරගාවලියේදී උතුර රුද්‍රාස් කණ්ඩායම නියෝජනය කල චාමර කපුගෙදර බස්නාහිර ක්‍රිකට් ඩන්ඩී කණ්ඩායමට එරෙහිව පන්දු 42 කදී ලකුණු 69 ක් නොදැවී රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් 5 ක් හා හතරේ පහරවල් 2 ක් ඇතුලත්.

09. තිලාන් සමරවීර

කඳුරට වොරියස් කණ්ඩායම නියෝජනය කල තිලාන් සමරවීර උතුර රුද්රාස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී පන්දු 45 ක් තුළ ලකුණු 71 ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහරවල් 9 ක් ඇතුලත්ව තිබුණා.

08. තිසර පෙරේරා

කඳුරට වොරියස් කණ්ඩායම නියෝජනය කල තවත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන තිසර පෙරේරා නැගෙනහිර නාගාස් කණ්ඩායමට එරෙහිව පන්දු 33 කදී වේගවත් ලකුණු 72 ක් වාර්තා කළා. තිසරගේ එම ඉනිමට හයේ පහරවල් 4ක් හා හතරේ පහරවල් 6 ක් ඇතුලත්.

07. ඇන්ජලෝ මැතිව්ස්

නැගෙනහිර නාගාස් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් ඌව නෙක්ස්ට් කණ්ඩායම සමග පැවතී අවසන් මහා තරගයෙදී පන්දු 27 කදී නොදැවී ලකුණු 73 ක් රැස්කිරීමට සමත් වුණා. මැතිව්ස්ගේ එම ඉනිමට හයේ පහරවල් 4 ක් හා හතරේ පහරවල් 8 ක් ඇතුලත්ව තිබුණා.

06. දිනේශ් චන්දිමාල්

වයඹ යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කල දිනේශ් චන්දිමාල් රුහුණ රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 54 කදී ලකුණු 75 ක් රැස්කිරීමට සමත් වුණා. චන්දිමාල්ගේ එම ඉනිමට හතරේ පහරවල් 11ක් ඇතුළත්.

05. අසාර් මහමුද්

වයඹ යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කල අසාර් මහමුද් ඌව නෙක්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 47 ක් වැය කරමින් නොදැවී ලකුණු 75 ක් රැස්කිරීමට සමත්වුණා. අසාර්ගේ එම ඉනිමට හයේ පහරවල් 4 ක් හා හතරේ පහරවල් 8 ක් ඇතුළත්.

04. කම්රන් අක්මාල්

වයඹ යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කළ කම්රන් අක්මාල් උතුර රුද්රාස් කණ්ඩායම සමග පැවති තරගයකදී පන්දු 55 ක් වැයකර ලකුණු 79 ක් රැස්කිරීමට සමත් වුණා. ඒ, හයේ පහරවල් 3 ක් හා හතරේ පහරවල් 7 ක් සමගින්.

03. ක්‍රිස් ලින්

කඳුරට වොරියස් කණ්ඩායම නියෝජනය කල සුපිරි පිතිකරු ක්‍රිස් ලින් වයඹ යුනයිටඩ් කණ්ඩායම සමග පැවති තරගයකදී පන්දු 51 කදී ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වුණා. ලින්ගේ එම ඉනිමට හයේ පහරවල් 5 ක් හා හතරේ පහරවල් 3 ක් ඇතුලත්ව තිබුණා. තරගාවලියේ ඉනිමකදී වාර්තා වුණ තෙවනි ඉහළම ලකුණු සංඛ්‍යාව එයයි.

02. ටමිම් ඉක්බාල්

තරගාවලියේ ඉනිමකදී වාර්තා වූ දෙවැනී ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ වයඹ යුනයිටඩ් කණ්ඩායමේ ටමිම් ඉක්බාල් උතුර රුද්රාස් කණ්ඩායම සමග පැවති තරගයකදී පන්දු 61කින් නොදැවී ලකුණු 93 ක් රැස් කළා. ඉක්බාල්ගේ එම ඉනිමට හයේ පහරවල් 6 ක් හා හතරේ පහරවල් 7 ක් ඇතුලත්.

01. මහේල ජයවර්ධන

SLPL තරගාවලියේ ඉනිමක් තුළ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ මහේල ජයවර්ධනයි. වයඹ යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කළ ඔහු නැගෙනහිර නාගාස් කණ්ඩායම සමග පැවතී තරගයකදී පන්දු 50 ක් වැය කර ලකුණු 96 ක් නොදැවී රැස්කිරීමට සමත් වුණා. ඔහුගේ එම ඉනිම හයේ පහරවල් 5 කින් හා හතරේ පහරවල් 11 කින් වර්ණවත් වී තිබුණා.

Leave a comment