Ultimate magazine theme for WordPress.

යෝකරයට ලකුණු දුන් තරගයේ දී කෝලිගෙන් ඉසුරුට ඔල්වරසන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක් පමණයි.

මෙවර තරගාවලිය එළඹෙන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ අනුශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දෙස සෑම තරග වාරයක දී මෙන්ම මෙවරත් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇති බව නොරහසක්.

ඒ, අයි.පී.එල් තරගාවලියක් ජය ගැනීමට එම කණ්ඩායමට මෙතෙක් නොහැකි වීම හේතුවෙන්.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ආර්.සී.බී කණ්ඩායම පසුගිය තරග වාර තුනේ දී ඉහළ දක්ෂතා දැක්වීමට ද සමත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, මෙවර තරග වාරයේ දී බැංගලෝර් කණ්ඩායම දෙස බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමුව ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන එම කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන්.

අයි.පී.එල් තරගාවලියට එක් වන සෙසු කණ්ඩායම් වගේම බැංගලෝර් කණ්ඩායමත් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පුහුණුවීම් සිදු කරනවා.

ඒ අතරතුර පසුගියදා එම කණ්ඩායමේ පන්දු යවන්නන් සදහා පැවැති අපූරු පුහුණු සැසියක් පිළිබදවයි අප අද තොරතුරු ගෙන එන්නේ.

මෙය ඇත්තටම පුහුණු සැසියක් වුණාට තරගයක් වගේ එකක්.

පන්දු යවන්නන් යෝකර් පන්දු යොමු කළ යුතු අතර, ඒ සදහා ලකුණු ලබා දීමක් මෙහිදී සිදු වුණා.

ඒ අනුව පන්දුව පතිත වෙන ස්ථානය අනුව, ලකුණු 1, 3, 5 වශයෙන් ලකුණු ලබා දීමක් මෙම පුහුණු සැසියේ දී සිදු වුණා.

මෙම  අවස්ථාවට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද එක් වූ අතර, ඔහු යැවූ පන්දු දෙකක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සිය යූ ටියුබ් නාලිකාවේ පල කර තිබුණා.

එහිදී ඉසුරු උදාන විසින් දෙවැනි පන්දුව යැවීමට පෙර නායක විරාට් කෝලි ඔහුව දිරි ගන්වන අයුරු දැක ගැනීමට හැකි වුණා.

අනතුරුව ඉසුරු යැවූ පන්දුව ලකුණු පහේ සීමාව ආසන්නයේම ගැටුණු අතර, එම අවස්ථාවේ දී සහ සෙසු පන්දු යවන්නන් යැවූ යෝකර් පන්දුවලට විරාට් කෝලි දැක් වූ ප්‍රතිචාරය කාගේත් වැඩි අවධානයක් දිනා ගැනීමට මේ වන විට සමත් වී තිබෙනවා.

දර්ශන පහතින් –

Leave a comment