Ultimate magazine theme for WordPress.

මෙවර IPL තරගාවලියේ වේගවත්ම අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් 6 දෙනා

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන 2020 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා ඉතාමත් තියුණු තරගකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

නරඹන්නන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරි ගිය ප්‍රේක්ෂකාගාරයක් මෙවර දැකගන්නට අවස්ථාවක් නොමැති වුව ද තරගාවලියේ තරගකාරීත්වයට එය කිසිදු බාධාවක් වී නැහැ.

ඇතැම් නම් දැරූ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණීමට තවමත් අපොහොසත් වී තිබුණ ද තරගාවලිය පුරා හොඳින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ගේ ද අඩුවක් නොමැති තරම්.

තරග 39 ක් අවසාන වී ඇති මේ අවස්ථාවේ මෙවර තරගාවලිය පුරාවට වාර්තා වූ වේගවත්ම අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් 6 දෙනා පිළිබඳව ඔබගේ මතකය අවදි කරවන්නට අපි තීරණය කළා.

06. ඒ. බී. ඩිවිලියර්ස් – RCB

පසුගිය 17 වෙනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කිරීමට එ.බී. ඩිවිලියර්ස් සමත් වුණා. පන්දු 22 ක් පමණක් වැයකරමින් අර්ධ ශතකය රැස්කරන ඔහු සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක් රැගෙන ඒමට ද මෙම තරගයේ දී කටයුතු කළා. ඩිවිලියර්ස්ගේ ඉනිමට ඇතුළත්ව තිබු හයේ පහරවල් සංඛ්‍යාව 6 ක්.

05. දිනේෂ් කාර්තික් – KKR

තරගාවලියේ දී තවමත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට හැකියාවක් නොලද පිතිකරුවෙකු වුව ද මෙවර තරගාවලියේ ඔහු වාර්තා කල එකම අර්ධ ශතකය පන්දු 22 ක් පමණක් වැය කරමින් වාර්තා කිරීමට දිනේෂ් කාර්තික් සමත් වුණා. පංජාබ් කණ්ඩායමට එරෙහිව ඔහු ලබාගත් එම අර්ධ ශතකයට (58) හතරේ පහරවල් 8 ක් සහ හයේ පහරවල් 2 ක් ඇතුළත්ව තිබුණා.

04. මාර්කස් ස්ටොයිනිස් – DC

දිල්ලී කණ්ඩායම නියෝජනය කරන මාකස් ස්ටොයිනිස් මෙවර තරගාවලියේ ඔවුන් මුහුණ දුන් ප්‍රථම තරගයේදීම වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කිරීමට සමත් වූ බව ඔබට මතක ඇති. පංජාබ් කණ්ඩායමට එරෙහිව ස්ටොයිනිස් වාර්තා කළ වේගවත් අර්ධ ශතකයට වැය වී තිබුණේ පන්දු 20ක් පමණයි. හතරේ පහරවල් 7 කින් හා හයේ පහරවල් 3 කින් එම ඉනිම වර්ණවත් වී තිබුණා.

03. කිරන් පොලාඩ් – MI

වේගවත් ඉනිම්වලට වඩාත් ප්‍රිය කරන කිරන් පොලාඩ් මෙවර තරගාවලියේදී ද සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වී තිබුනේ නැහැ. බැන්ගලෝර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහු පන්දු 20 ක් පමණක් වැය කරමින් අර්ධ ශතකය රැස්කිරීමට සමත් වෙනවා. ඔහුගේ ඉනිමට (60) හතරේ පහරවල් 3 ක් සහ හයේ පහරවල් 5 ක් ඇතුලත් වී තිබුණා.

02. සංජු සැම්සන් – RR

රාජස්තාන් කණ්ඩායම නියෝජනය කරන මුල් පෙළ පිතිකරුවෙකු වන සංජු සැම්සන් මෙවර තරගාවලියේදී වේගවත්ම අර්ධ ශතකය රැස්කළ පිතිකරුවන් ලැයිස්තුවේ දෙවන ස්ථානය වෙන්කරවා ගැනීමට සමත් වී තිබෙනවා. චෙන්නායි කණ්ඩායමට එරෙහිව ඔහු අදාළ අර්ධ ශතකය රැස්කිරීමට වැය කර තිබුණේ පන්දු 19 ක් පමණයි.

01. නිකලස් පූරාන් – KXIP

කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කරන නිකලස් පූරාන් විසින් මෙවර තරගාවලියේදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කීමට සමත් වී තිබෙනවා. හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඔහු වාර්තා කරන එම වේගවත් අර්ධ ශතකයට ඇතුලත්ව තිබුණේ පන්දු 17 ක් පමණයි. එය සමස්ත අයි.පී.එල් තරග ඉතිහාසය තුළ වාර්තා වූ සිව්වන වේගවත්ම අර්ධ ශතකය සම කිරීමක් වන නමුත්, ඔහු ලබා ගත් සමස්ත ලකුණු ප්‍රමාණය පදනම් කර ගනිමින් අයි.පී.එල් තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පූරාන්ට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.

Leave a comment