Ultimate magazine theme for WordPress.

එංගලන්ත කණ්ඩායමට දරුණුතම එක්දින පරාජය හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට යෙදි තිබෙන්නේ එංගලන්ත තරග සංචාරයක් බව ඔබ මේ වන විටත් දන්නවා.

මෙම තරග සංචාරයට 20යි 20 තරග තුනක් සහා එක්දින තරග තුනක් ඇතුළත්.

අවසන් වරට දෙරට අතර ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2018 වර්ශයේ දී යි.

එම තරගාවලියට තරග 5 ක් ඇතුළත්ව තිබුණත් වර්ෂාව හේතුවෙන් ප්‍රථම තරගය අත්හැරදැමීමට සිදුවුණා.

තරගාවලිය පුරාම ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ එංගලන්ත කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ තරග 3 – 1 ක් ලෙසයි.

තරගාවලියේ සත්කාරකයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ එක් තරගයක් පමණයි.

නමුත් එම තරගයේදී ඔවුන් වාර්තා ගත ජයක් ලබමින් එංගලන්ත කණ්ඩායම පරාජය කළ ආකාරය ඔබට තවමත් මතක ඇති.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් එංගලන්ත කණ්ඩායම පරාජය කළ රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඉතිහාසගත වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් පමණක් බිඳ වැටී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 366 ක්.

ආරම්භක කඩුල්ලට ලකුණු 137 ක සබදතාවක් ගොඩනැගීමට සදීර සමරවික්‍රම සමගින් නිරෝෂන් දික්වැල්ල සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම කඩුල්ල ලෙස පන්දු 48 කදී ලකුණු 54 ක් ලබා සිටි සදීර දැවී ගිය අතර ශතකය ආසනනයේ දී නිරෝෂන් දික්වැල්ල දැවීගියේ ලකුණු 95 (97) ක් රැස්කර සිටියදී යි.

වේගවත් ඉනිමක් දියත් කල නායක දිනේෂ් චන්දිමාල් පන්දු 73 කදී ලකුණු 80 ක් රැස්කිරීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් පන්දු 33 කදී වේගවත් ලකුණු 56 ක් ලබා ගත්තා.

දසුන් ශානක සහ අකිල ධනංජය ලකුණු 18 බැගින් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මෝයින් අලී සහ ටොම් කරන් අතර කඩුලු 2 බැගින් බෙදීගියා.

ලකුණු 367 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 26.1ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

යම්තාක් දුරකට හෝ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ බෙන් ස්ටෝක්ස් ලකුණු 67 ක් රැස්කළා.

මෝයින් අලී ලකුණු 37 ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට අවස්ථාව ලැබුණේ නැහෑ.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය විසින් කඩුලු 4 ක් බිඳ හෙලනු ලැබුවා.

දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් දවා ගනිද්දි කසුන් රාජිත සහා ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 219 ක (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) දැවැන්ත ලකුණු පරතරයකින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කළා.

එය වාර්තා අතරට එක් වුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී එංගලන්ත කණ්ඩායමට අත්වූ දරුණුතම පරාජය ලෙසයි.

එම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් –

01. නිරෝෂන් දික්වැල්ල (wk), 02. සදීර සමරවික්‍රම, 03. දිනේශ් චන්දිමාල් (c), 04. කුසල් මෙන්ඩිස්, 05. ධනංජය ද සිල්වා, 06. දසුන් ශානක, 07. තිසර පෙරෙරා, 08. අකිල ධනංජය, 09. ලක්ෂාන් සඳකැන්, 10. දුෂ්මන්ත චමීර, 11. කසුන් රාජිත

Leave a comment