Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහි තරගාවලියේදී දුෂ්මන්ත චමීර තැබූ අතිශය විරල වාර්තාවන් දෙක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය පසුගිය 29 වනදා නිමාව දුටුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක පහස භුක්ති විදීමට අවස්ථාව උදා කරමින්.

ප්‍රථම විස්සයි විස්ස තරගයේ දී අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන හා අවසන් තරග ද්විත්වයේදී කැපීපෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් තරගාවලියට අවතීර්ණ වුණා.

20යි 20 තරගාවලිය අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලද මංගල විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය දසුන් ශානකගේ නායකත්වයෙන් සනිටුහන් කරමින්.

සියලු ක්‍රීඩකයින්ගෙන‍් මෙම ජයග්‍රහණයට දායකත්වය ලැබුණු අතර තරගාවලිය පුරාම එක හා සමාන විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ද සිල්වා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

දසුන් ශානකගේ නායකත්වයත්, අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹයත්, චාමික කරුණාරත්නගේ සුවිශේෂී තුන් ඉරියව් දක්ෂතාත්, තරගාවලියේ දී කැපී පෙණුනා.

එමෙන්ම කිසිසේත්ම අමතක කළ නොහැකි දක්ෂතාවයක් වේග පන්දුවෙන් පෙන්නුම් කිරීමට දුෂ්මන්ත චමීර සමත්වුණා.

සිය ක්‍රිකට් දිවියේ ස්වර්ණමය වකවානුව මෑතකාලයේදී භුක්ති විදිමින් සිටින දුෂ්මන්ත අවසන් තරගාවලි කිහිපයේ දී කණ්ඩායමට ලබා දුන් දායකත්වය සුළුපටු නැහෑ.

අවශ්‍යම මොහොතක මුල් පන්දු වාරවලදී කඩුල්ලක් ලබා ගැනීම ඔහුගෙන් අවසන් තරග කිහිපයේ දී ම දැකගැනීමට හැකි වූ කරුණක්.

නිමාවට පත් වූ විස්සයි විස්ස තරගාවලියේදී වනිඳු හසරංගට පසුව ඉන්දිය කණ්ඩායමේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ පන්දු යවන්නා බවට පත්වීමට ද දුෂ්මන්ත චමීරට අවස්ථාව උදා වුණා.

එම තරග 3 තුළ පන්දුවාර 12 ක් ක්‍රියාත්මක කරමින් චමීර ලබා ගත් කඩුලු සංඛ්‍යාව 4 ක්.

15.75 ක අනර්ඝ පන්දු යැවීමේ සාමාන්‍යක් පවත්වා ගැනීමට ද ඔහු සමත්ව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම තරගාවලිය තුළදී සුවිශේෂී වාර්තා දෙකක් තමන්ගේ නම ඉදිරියේ ලියා ගැනීමට ඔහු සමත් වුණා.

ප්‍රථම විස්සයි විස්ස තරගයේ ඉන්දීය ඉනිමේ ප්‍රථම පන්දුවෙන්ම ආරම්භක පිතිකරු ප්‍රිත්වි ශෝ දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත්වුණා.

ඒ, කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකගේ අතට උඩපන්දුවක් ලබාදීමට සලස්වමින්.

එය වාර්තා වුණේ ඉන්දියාව ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගයක ඉන්දීය ඉනිමේ ප්‍රථම පන්දුවෙන්ම පිතිකරුවෙකු දැවී ගිය ප්‍රථම අවස්ථාව ලෙසයි.

එමෙන්ම තෙවන විස්සයි විස්ස තරගයේදී ඉන්දීය නායක ශිකර් ධවාන් වෙත දුෂ්මන්ත චමීර යොමු කළ ප්‍රථම පන්දුවෙන්ම ඔහුව දවාගැනීමට චමීර සමත්වුණා.

මෙය ද වාර්තා පොත් අලුත් කිරීමට සමත්වුණේ විස්සයි විස්ස තරගයක දී ඉන්දීය නායකයෙකු තමන් මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම දැවී ගිය පළමු අවස්ථාව ලෙසයි.

ඉතින් මෙම සුවිශේෂී වාර්තාවන් දෙක වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට නම් දිගුකලක් මතකයේ රැඳෙනු නොඅනුමානයි.

 

Leave a comment