Ultimate magazine theme for WordPress.

අවම මුදලක් හිමි වී IPL තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 5 දෙනා

මුදල් කෝටි ගණනින් හුවමාරු වන ලොව දැවැන්තම ක්‍රිකට් ලීගය වන්නේ ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බව ඔබ අප කවුරුත් හොඳින් දන්නා කරුණක්.

තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ මිලකට අලෙවිවන ක්‍රීඩකයින් වගේම ඔවුන්ට සාපේක්ෂව අඩු මුදලකට අලෙවි වන ක්‍රීඩකයින්ද සිටිනවා.

එසේ අවම මුදලකට මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් අලෙවි වුව ද මෙතෙක් තරගාවලිය පුරාවට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් වෙන්කර ගනිමින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට අපි තීරණය කළා.

5. අන්රික් නොක්යා (Anrich Nortje)

මෙවර තරගාවලිය සදහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ක්‍රිස් වෝක්ස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොක්යා මිලදී ගැනීමට එම කණ්ඩායම කටයුතු කළා. එම අවස්ථාවේදී ඔහු කණ්ඩායමට මෙතරම් වටිනු ඇතැයි ඔවුන් සිතන්නට නැතුව ඇති. මේ දක්වා තරග 9 කට ක්‍රීඩා කර ඇති අන්රික් නොක්යා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 12 ක්. එමෙන්ම අයි.පී.එල්. තරග ඉතිහාසයේ වේගවත්ම පන්දුව යොමුකිරීමටද ඔහු සමත්වී තිබුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දිය රුපියල් ලක්ෂ 200 ක මුදලකට තමයි ඔහුව මිලදීගෙන තිබුණේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5 ක්.

04. දීපක් චහාර්

ඉන්දීය කණ්ඩායම ද නියෝජනය කරන දීපක් චහාර් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වමින් සිටිනවා. මෙවර තරග වාරය යටතේ තරග 10කට ක්‍රීඩා කර ඔහු දවා ගෙන කඩුලු සංඛ්‍යාව 10ක්. නව පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වන දීපක් චහාර් මේ වන විට පන්දු වාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය 7.1ක්. ඉන්දීය රුපියල් ලක්ෂ 80ක මුදලක් මෙවර තරග වාරය වෙනුවෙන් ඔහුට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ගෙවනු ලබනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට වැඩි අගයක්.

03. ඉසුරු උදන

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ එකම ලාංකීය නියෝජනය වන්නේ ඉසුරු උදානයි. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරන උදාන, සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ අසාර්ථක වීමත් සමග ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ වෙනවා.
එතැන් පටන් මේ දක්වා අඛණ්ඩව තරග 8 ක් ක්‍රීඩා කිරීමට සමත්වෙන ඔහු ඇතැම් අවස්ථාවලදී යම් ප්‍රහාරයකට ලක්ව තිබුණද බැන්ගලෝර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු බිඳ හෙලන ලද ක්‍රීඩක ලැයිස්තුවේ තෙවන ස්ථානය වෙන් කර ගැනීමට සමත් වී තිබෙනවා. තරග 8 ක් තුළ ඉසුරු උදාන බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 7 ක්. ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක මූලික මුදලක් යටතේයි ඔහුව මිළදී ගැනීමට බැන්ගලෝර් කණ්ඩායම කටයුතු කර තිබුණේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 125 ක්.

02. තන්ගරාසූ නටරාජන්

මෙවර අයි.පී.එල්. තරගාවලියේ කාගෙත් අවධානය දිනාගත් නවක ක්‍රීඩකයකු බවට පත්වීමට වේග පන්දුයවන ක්‍රීඩක තන්ගරාසූ නටරාජන් සමත් වී තිබෙනවා. නටරාජන් සතුව පවතින යෝකර් පන්දු යොමු කිරීමේ අසාමාන්‍ය හැකියාව නිසාවෙනුයි වැඩි දෙනෙකුගේ දෑස් ඔහු වෙනුවෙන් යොමුව ඇත්තේ. මේ දක්වා තරගාවලිය තුළ නටරාජන් යොමු කර ඇති යෝකර් පන්දු ගණන 42 ක්. මෙවර තරගාවලියේ තරග 10 කට සහභාගී වී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 11 ක්. රෂීඩ් ඛාන්ට පසුව එම කණ්ඩායම වෙනුවෙන් මෙවර තරග වාරයේ දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලන ලද පන්දු යවන්නා වන්නේද ඔහුයි. ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් ලක්ෂ 40 ක මුදලකට ඔහුව මිළදී ගැනීමටයි හයිද්‍රාබාද් කණ්ඩායම කටයුතු කළේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 100 ක පමණ අගයක්.

01. දෙව්දත් පඩික්කල්

මංගල අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කරන 20 හැවිරිදි දෙව්දත් පඩික්කල් සියලු ක්‍රීඩා රසිකයන්ගේ අවදානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. මෙවර තරග වාරයේ දී පළමු තරග කිහිපය අවසන් වන විටත් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට තරම් මේ යොවුන් පිතිකරුවා දක්ෂතා දැක්වා තිබුණා. විරාට් කෝලිට පසුව රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙවර තරග වාරයේ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇති පිතිකරුවා වන පඩික්කල් තරග 10 ක් තුළ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 321 ක්. ඊට අර්ධ ශතක තුනක් ඇතුළත්. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු වෙනුවෙන් තබා තිබූ මූළික වටිනාකම වූ ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මුදල යටතේමයි බැන්ගලෝර් කණ්ඩායම ඔහුව මිලදීගෙන තිබුණේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 50.2 ක්.

Leave a comment