ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අද(8) සමත් වුණා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය අද පස්වරුවේ ආරම්භ වුණේ ගුවහාටි හී දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.
ඒ, ජොස් බට්ලර් වාර්තා කළ ලකුණු 79 න් හා යශස්වි ජයිස්වාල් රැස් කළ ලකුණු 60 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් කඩුලු 2 ක් දවා ගත්තා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු පන්දුවාරය යොමු කළේ ට්‍රෙන්ට් බෝල්ට් විසින්.
ඔහු එම පන්දුවාරයේ තෙවැනි හා සිව්වැනි පන්දුවලදී පිළිවෙලින් ප්‍රිත්වි ෂෝගේ හා මනිෂ් පාන්ඩේගේ කඩුලු දවා ගැනීමට සමත් වූ අතර, අදාළ පන්දුවාරයේ දී කිසිදු ලකුණක් රැස් කිරීමට කැපිටල්ස් පිලට හැකි වූයේ නැහැ.(දර්ශන පහතින්)
මීට පෙර පසුගිය දෙවැනිදා පැවැති තරගයකදී ද ට්‍රෙන්ට් බෝල්ට් විසින් මේ ආකාරයෙන්ම ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කිසිදු ලකුණක් ලබා නොදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.
— CricDaily24 (@cricday96) April 8, 2023